September 17, 2025

දියවඩන නිලමේ තනතුර සම්බන්ධයෙන් සංසරණය වන අපහාසාත්මක ප්‍රකාශ සහ ප්‍රචාර පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ එවැනි ක්‍රියා ශ්‍රී දළදා මාලිගාවේ, උභය මහා විහාරයේ සහ සමස්තයක් වශයෙන් බෞද්ධ ප්‍රජාවේ ගෞරවයට හානි කරන බවයි.

ලොව පුරා බෞද්ධයින් සඳහා වඩාත් ගෞරවනීය ස්ථානයක් වන පූජනීය දළදා මාලිගාවේ ගිහි භාරකරු ලෙස දියවඩන නිලමේවරයා රටේ ප්‍රමුඛතම ගිහි බෞද්ධයා ලෙස සළකනු ලබන අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඉහළ ගෞරවයක් ලබයි.

1931 අංක 19 දරන බෞද්ධ විහාරගම් සහ දේවාලගම් ආඥා පනතට අනුව, දියවඩන නිලමේවරයා වසර දහයක ධුර කාලයක් සඳහා මැතිවරණයක් හරහා පත් කරනු ලැබේ.

වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය දැන් අවසන් වී ඇති අතර, අනුප්‍රාප්තිකයකු පත් කිරීමට කටයුතු කරමින්තිබේ.

හිටපු දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයන් කිහිප දෙනෙක් එම තනතුරට තරඟ කරති.

තමන් කැමති අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් ඇතැම් බාහිර පාර්ශවයන් විසින් පතුරුවා හරින අපහාසාත්මක ප්‍රචාර බෞද්ධ ආයතන පිළිබඳ ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති බවත් ලෝකය ඉදිරියේ බෞද්ධ ප්‍රජාව හෑල්ලු කර ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි;

“සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමි වන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරධුර වගකීම හිමිවන දියවඩන නිලමේ ධුරයේ කටයුතු මල්වතු අස්ගිරි උභය මහා විහාරිය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයෙකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සැබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා වර්තමාන දිය වඩන නිලමේවරයා ඇතුළු අපේක්‍ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත.
තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි. ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික බෞද්ධ සිද්ධස්ථාන හා සැබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමඟියට හේතුවන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දිනවල බහුල වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය යනයට හේතුවෙන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වා ගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා භාරදුර වගකීම් පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උර දෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එකී කාර්ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්‍ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාල සීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්‍ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳී නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.”