August 14, 2026

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පළමු ශ්‍රේණියේ (01) තෙවැනි වාරයට අදාළ දමිළ භාෂා ක්‍රියාකාරකම් සහ පෙළපොත් තොගයක් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත නියමිත පරිදි භාර නොදී සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් තලංගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ (නිෂ්පාදන හා බෙදාහැරීමේ) කොමසාරිස් එන්. ඩබ්ලිව්. ඩී. හිරෝෂි ගුණවර්ධන විසින් සිදුකර ඇත.

පොලිස් පැමිණිල්ලට අනුව, නැගෙනහිර පළාතේ පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත භාරදීමට තිබූ රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමකින් යුතු පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් 19,892ක් මෙලෙස නියමිත පරිදි භාර දී නොමැත.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද මෙම පොත් තොගය ප්‍රවාහනය කිරීම සඳහා බියගම, සියඹලාපේ, සමෘද්ධි මාවතේ පිහිටි ආයතනයක් හරහා ගිවිසුම්ගතව ‘ටස්මා ඉන්ටර්නැෂනල්’ ආයතනය වෙත භාරදී ඇත.

ඒ අනුව, 2026.05.04 වන දින 43-9874 දැරෙන ලොරි රථයේ රියදුරු භාරයේ මෙම පොත් තොගය රැගෙන යාමට අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත්, අදාළ පොත් තොගය නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 වෙත නියමිත පරිදි ලැබී නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත භාර නිලධාරී ජගත් වන්නිහාරච්චි විසින් ඉකුත් 07 වැනි දින අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.