May 9, 2025

පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අපයෝජනයට ලක්වී පසුව සියදිවී නසාගත් බව කියන බම්බලපිටියේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

එම තත්වය තවදුරටත් වර්ධනය වූයේ දැරිය ඉගෙනුම ලැබූ පාසල ඉදිරිපිට ඊයේ පැවැති විරෝධතාව හමුවේයි.

එල්ල වන විරෝධතා හමුවේ අදාළ පාසල් ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමටත්, පාසලේ විදුහල්පතිවරයා කැඳවා කරුණු විමසීමක් සිදුකිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබිණි.

එහෙත් බොහෝ පිරිසක් පවසන්නේ එම අමාත්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ මැදිහත්වීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර dailymirror වෙත අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ සම්මානිත මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසා ඇත්තේ, සාපරාධී වරදක් කළ බව කියන ගුරුවරයකුට ස්ථාන මාරුවීම් ලබාදීම ඊට පිළිතුරක් නොවන බවයි.

විනය ක්‍රියාමාර්ගය විසඳුම නොවන බවත්, අපරාධ පරීක්‍ෂණය සහ නඩු පැවරීම හොඳම පිළිතුර බවත් ඔහු පෙන්වා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට විනය පරීක්‍ෂණ පැවැත්වීමට බලයක් නොමැති බවත්, ළමා අපචාර දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන බැවින් පොලිසිය සහ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය චූදිතයන් අත්අඩංගුවට ගෙන ඒ අනුව විමර්ශනය කිරීම අනිවාර්ය බවත් ඔහු පැහැදිලි කළේය.

1998 අංක 50 දරන ජාතික ළමාරක්‍ෂක අධිකාරි පනතට අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැය 48ක් අත්අඩංගුවේ තබා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට බලතල ඇති බවද මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

ලිංගික අපයෝජන දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන බැවින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන ඕනෑම දෙයක් සමාජයට එරෙහි ක්‍රියාවක් බවත් ඔහු පවසයි.

මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගතයුතු අතර එය උසාවියෙන් පිටත විසඳිය නොහැකි බවත්, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන යටතේ මේවා වරදකරුවන් කළ හැකි වැරදි වන අතර, අපරාධකරුවන්ට අනිවාර්ය දඬුවමක් ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

සාක්‍ෂි තිබේ නම් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි යන්න ගැටළුවක් බවත් ඔහු එහිදී පවසා තිබේ.