
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිස් ඝාතන හා මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කෙසෙල්වත්තේ දනූෂ නමැති පාතාලයේ අපරාධකරු ශල්‍යකර්මයක් සඳහා ඩුබායි සිට ඉන්දියාවට පැමිණ සිටියදී එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරගැනීමට හැකියාව ලැබී ඇත්තේ පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයත්, ඉන්දීය ආරක්ෂක අංශත් සමඟ එක්ව කළ ඍජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල සහ එම අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙෙනවිරත්න ඊට අදාළ සම්බන්ධීකරණය පොලිස්පතිවරයාට ලබාදී ඇත.
වයස අවුරුදු 34ක් වන කොළඹ, කෙසෙල්වත්තේ පදිංචිකරුවෙක් වන දනූෂ නමැති මේ පාතාල ක්‍රියාකරු කෙසෙල්වත්ත හොල්ලාගෙන සිටි දිනුක නමැති පාතාල ප්රබලයාගේ ගෝලයෙකි.
හිටපු ජනාධිපතිවරයෙක් වන රණසිංහ ප්‍රේමදාසගේ සමීපතමයෙක් වන කෙසෙල්වත්තේ නීල් නමැත්තාගේ පුතා වන දිනුක ඩුබායිහිදී හෘදයාබාධයකින් 2021 මාර්තු මාසයේදී මියගියේය.
ඔහුගේ මරණයෙන් පසු දිනුකගේ කල්ලියට නායකත්වය දී ඇතැයි පැවසෙන්නේ දනූෂ චතුරංග නොහොත් කෙෙසල්වත්තේ දනූෂය.
දිනුක ජීවත්ව සිටියදී ඔහුගේ කොන්ත්‍රාත් මත මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් රැසක් සිදු කර 2021දී ඔහු ඩුබායි බලා පළාගොස් ඇතැයි ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
2015දී කෙසෙල්වත්තේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීම, 2018දී කොටහේනේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර හා අනුබල දීම, 2021දී මට්ටක්කුලියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති මිනිස් ඝාතන චෝදනා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
කෙසෙල්වත්ත, වේල්ලවීදිය, බ්ලූමැන්ඩල් පොලිස් වසම්වල සිදු වූ කොල්ලකැම් කිහිපයකට මෙන්ම මත්කුඩු සන්තකයේ තබාගැනීම්වලට පවා විටෙන් විට ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
2021දී කොටහේනේදී ජීව අත්බෝම්බයක් සමඟ ද ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි පසු ඔහු රටින් පළාගොස් ඇති බව සඳහන්ය.
මේ අපරාධකරු රටින් පළාගිය පසු ජාත්‍යන්තර පොලීසියෙන් ඔහුට එරෙහිව රතු නිවේදනයක් ද නිකුත් කර තිබී ඇත. මේ නිසාම ඔහු ඩුබායි සිට ඉන්දියාවට ගොස් ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කරගෙන ඇති විදෙස් ගමන් බලපත්‍රයකිනි. මාස දෙකක පමණ කාලයක් ඔහු ඉන්දියාවේ රැඳී සිට ඇති බව ද අනාවරණය වී තිබේ.
මේ පාතාල අපරාධකරු ඩුබායි සිට ඉන්දියාවට ගොස් සිටින බවට බුද්ධි අංශවලින් බලධාරීන් දැනුවත් වීමත් සමඟ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති බව සඳහන්ය.
ඒ අනුව ඔහුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් අල්ලා මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.
එසේ පිටුවහල් කළ මේ අපරාධකරු පෙරේදා (24) ගුවන් මඟින් මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසියට භාරදී ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart