July 13, 2024

පසුගිය දා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී වීඩියෝ දර්ශන නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පොලිසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ පොලිසිය සැකකරුවෙකුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන ආකාරය වීඩියෝවේ දැක්වෙන බවයි.

එය නීතිය උල්ලංඝණය කිරීමක් බව පවසමින් ඔහු කියාසිටියේ එවැනි තත්ත්වයක් යටතේ එවැනි ප්‍රශ්න කිරීම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවිය යුතු බවයි.

නඩුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අතරතුර මෙවැනි වැදගත් තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සළකන බව ඇමැති රාජපක්ෂ සඳහන් කළේය.

“දැනට පවතින තත්ත්වය යටතේ අධිකරණයට යුක්තිය ඉටු කළ හැකි යැයි මම විශ්වාස කරන්නේ නෑ. පොලිසියට මේ වන විටත් මුළු රටටම පෙනෙන පරිදි නඩුව විභාග කර අවසන් කර ඇති අතර දැන් ඔවුන්ට සිදු වන්නේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණයි. විනිසුරුවරුන්ට මේ නඩුවේ තවත් කරන්න දෙයක් නැහැ,” ඔහු පොලිසියේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.

එවැනි ප්‍රශ්න කිරීම් නීත්‍යානුකූල නම්, එවැනි පොලිස් නිලධාරීන් යොදවා අපරාධ පරීක්ෂණ පවත්වන්නේ කෙසේද යන්න අධිකරණ ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

එවැනි පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසයට බලපාන බව ඇමැති විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේය.

සැකකරු විසින් මෙම ප්‍රශ්න කිරීම්වලදී ඩුබායි හි වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු, ව්‍යාපාරිකයෙකු වන ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ඝාතනයේ මහමොළකරු ලෙස නම් කරනු දක්නට ලැබේ.