September 13, 2026

නෝවේ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය යෝනාස් ගාර් ස්ටෝරේ සිදුකරන ලද නව කැබිනට් සංශෝධනයත් සමඟ එරට ලේබර් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥවරියක වන කැම්සි ගුණරත්නම් නව ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යවරිය ලෙස පසුගිය සිකුරාදා වැඩ භාරගත්තා.

38 වැනි වියෙහි පසුවන කැම්සි, යාපනය ප්‍රදේශයේ උපත ලබා ඇති අතර, 1991 වසරේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ඇගේ දෙමව්පියන් සමඟ නෝවේ රාජ්‍යය වෙත සංක්‍රමණය වී තිබෙනවා. ඇය නව තනතුර යටතේ නෝවේ රාජ්‍යයේ ජනතාව සහ භාණ්ඩ ප්‍රවාහන ප්‍රතිපත්ති මෙන්ම තැපැල් සේවාවන් අධීක්ෂණය කිරීමේ වගකීම දරනු ලබනවා.

2013 වසරේදී ඔස්ලෝ නගරයෙන් ලේබර් පක්ෂය නියෝජනය කරමින් ආදේශක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූ ඇය, 2019 සිට 2021 දක්වා කාලය තුළ ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද කටයුතු කළා.

1999 වසරේදී ‘ලිබරල්’ පක්ෂ දේශපාලනඥයකු වූ ඔඩ් අයිනාර් ඩොරුම් එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු, ඔස්ලෝ නගරය නියෝජනය කරමින් නෝවේ ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පළමු පුද්ගලයා කැම්සි ගුණරත්නම් වීම නිසා මෙම පත්වීම නෝර්වේ ජනමාධ්‍යයන්හිද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මෙම විශේෂ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද ‘X’ ගිණුම ඔස්සේ ඇයට සුබ පැතුම් එක්කර ඇති අතර, බෙදාහදාගත් උරුමය නිසාවෙන් මෙය නෝවේ හි වසන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉමහත් ආඩම්බරයක් බවත් ඇගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවත් පවසා තිබෙනවා.