August 14, 2023

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ සීනි බදු වංචාවෙන් මෙරටට සිදුව ඇති පාඩුව අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයාවන පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් එදින කාරක සභාව රැස්ව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිළධාරින් සඳහන් කර ඇත්තේ, එහි ප්‍රගතිය පිළිබඳව ඔවුන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බවත්ය.

එහිදී කාරක සභාව විමසා ඇත්තේ, අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්න පිළිබඳවය.

ඒ අනුව හැකි ඉක්මණින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙරටට සීනි ආනයනය කිරීමේදී පෞද්ගලික සමාගමකට රුපියල් බිලියන 15.9ක අයුතු ලාභයක් ලබාගැනීමට රජය විසින් පහසුකම් ලබාදී ඇති බව හෙළිව තිබේ.