March 17, 2024

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය විසින් අධිකරණයේ ගොනුකර ඇති නඩුවක ප්‍රතිඵලය මත රුපියලේ අගය ඉහළ යෑමට සාපේක්ෂව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිල අඩුකිරීම පිළිබඳ සළකා බලනු ඇති බව වාර්තා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත්තේ, මෑතකදී ඩොලරය පහත වැටුණු බැවින් විනිමය අනුපාතිකයේ ස්ථායිතාව සළකා බැලීමෙන් පසුව ඖෂධ මිල අඩු කිරීම පිළිබඳව තීරණය කළ හැකි වනු ඇති බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය විසින් අධිකරණයේ පවරා ඇති නඩුවක් හේතුවෙන් මිල සංශෝධන කිරීමට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගය අනුව දැනට ඖෂධ මිල සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, අධිකරණය අවසර ලබාදෙන්නේ නම් මිල අඩු කරන බව ඔහු සඳහන් කළේය.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, ඖෂධ මිල කෙරෙහි බලපාන තත්ත්වයන් වර්තමානයේ වඩාත් යහපත් වී ඇති බවයි.

“ඖෂධ මිල ඩොලර් අනුපාතය මත මෙන්ම බලශක්තිය, ප්‍රවාහනය සහ අමුද්‍රව්‍ය පිරිවැය මත රඳා පවතිනවා. පසුගිය වසර හා සසඳන විට මෙම සියලු සාධක වාසිදායක තත්ත්වයක තිබෙන්නේ. ඒ නිසා ඖෂධ මිල අඩුකර එහි වාසිය රෝගීන්ට ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි ඔහු පවසයි.

එපමණක් නොව, අතිරේක ඖෂධ උපරිම සිල්ලර මිල ලැයිස්තුවට ගෙන ඒම ධනාත්මක පියවරක් ලෙස ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, එම ඖෂධ වර්ග සඳහා පමණක් නොව අනෙකුත් ඖෂධ සඳහාද මිල පාලන ක්‍රමයක් තිබිය යුතු බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිලකරණ කමිටුව නිසි ලෙස සක්‍රිය කර මිලකරණය පිළිබඳ තීරණ ගතයුතු බවත් ඔහු සඳහන් කරයි.

රුපියල හදිසියේ අවප්‍රමාණය වීමෙන් පසු මිල වැඩිකරන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීම්වලින් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2022 වසරේ දී අවස්ථා දෙකකදී ඖෂධ සඳහා මිල ඉහළ නැංවීම් අනුමත කළේය.

2023 ජුලි මාසයේ අවසන් ඖෂධ සංශෝධන සිදු කරන විට, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට වඩා 300ට වඩා අඩු මට්ටමක පැවති අතර, ඉන් පසුව එය අඛණ්ඩව අවප්‍රමාණය විය.

වසර ආරම්භයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු.322 මට්ටමේ පැවති රුපියලමේ වන විට රු. 305 මට්ටමට පැමිණ තිබේ.

කෙසේවෙතත්, සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසන්නේ, පාලන මිලක් පැනවීම ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාවට මෙන්ම සමස්ත ඖෂධ ජාලයටම බලපාන බවයි.

“බලහත්කාරයෙන් මිල පාලනය කිරීමෙන් ඒවා නිසි මිලට අලෙවි කළ නොහැකි බැවින් ගුණාත්මක ඖෂධ මෙරටට ගෙන්වන එක අඩුවෙනවා. පාලන මිලක් ඇති කළොත් ලංකාවේ ඖෂධවලින් 78%ක් පාලනය වෙනවා. දැනට පාලනය වන්නේ 38%ක් පමණයි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කුඩා වෙළෙදපොළක් බැවින් සහ මිල සූත්‍රයකට අනුව මෙම මිල පාලනය ක්‍රියාත්මක නොවන බැවින් ආදේශක පමණක් ඉතිරි කර උසස් තත්ත්වයේ ඖෂධ අහිමි වනු ඇති බව ගන්කන්ද අවධාරණය කරයි.

ඒ අනුව, ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව, ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් සමඟ එක්ව මීට පෙර ඉදිරිපත් කළ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

පසුගිය වසරේ ජූනි මාසයේ දී, එක්සත් ජනපද ඩොලරයේ පහත වැටීම සැළකිල්ලට ගනිමින්, 2023 ජුනි 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ 60ක උපරිම සිල්ලර මිල 16% කින් අඩුකිරීමට සහ සෑම මාස තුනකටම වරක් ඖෂධ මිල සමාලෝචනය කිරීමට එවක සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.(Sunday Morning)