July 29, 2025

ප්‍රකාශිත මෝටර් ධාරිතාවන්ගේ විෂමතා ඇති බවට සැක කෙරෙන චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව වරායේ රඳවාගෙන ඇති බව EconomyNext වාර්තා කර තිබේ.

වාහනයක මෝටර් ධාරිතාව ආනයන බදුවලට සෘජුවම බලපාන සාධකයකි.

මෙම මාසයේ තොග හයකින් ආනයනය කරන ලද අදාල වාහන සියල්ලම කිලෝවොට් 100 මෝටර් ඇති බවට ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, බලධාරීන් සැක කරන්නේ එම වාහනවල සැබෑ ධාරිතාව කිලෝවොට් 150 විය හැකි බවයි.

එය ආනයන බද්ද සැළකිව යුතු ලෙස ඉහළ යෑමට හේතුවේ.

වත්මන් බදු නීති යටතේ, කිලෝවොට් 100 විදුලි වාහනයක් රුපියල් මිලියන 2.4ක ඇස්තමේන්තුගත සෘජු බදුවලට යටත් වන අතර, කිලෝවොට් 150 වාහනයක් සඳහා එම බද්ද රුපියල් මිලියන 5.4ක් දක්වා ඉහළ යයි.

ඉහළ තීරුබදු මග හැරීමේ උත්සාහයක් ලෙස මෝටර් ධාරිතාව අඩුවෙන් ප්‍රකාශ කර ඇති දැයි රේගුව දැන් විමර්ශනය කරමින් සිටී.

විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කළ අතර, ඔහු සඳහන් කළේ නව සහ භාවිත කරන ලද BYD ATTO 3 මාදිලි අතර රුපියල් මිලියන 4.5ක බදු පරතරයක් පතින බවයි.

“කිලෝවොට්100ක් වන අලුත්ම BYD ATTO 3 වාහනයකට රුපියල් මිලියන 5.5ක බදු අය කෙරෙනවා, එහෙම තියෙද්දී භාවිත කළ BYD ATTO 3 වාහනයක් කිලෝවොට්150ක් වශයෙන් ලියාපදිංචි කරලා රුපියල් මිලියන 10ක බද්දක් අය කරන්නේ,” යනුවෙන් රහ්මාන් පැවසීය.

“නමුත් BYD වෙබ් අඩවියේ ලැයිස්තුගත කර තියෙන්නේ කිලෝවොට් 150 ATTO 3ක් පමණයි. කිලෝවොට් 100 වාහන නෙවෙයි.” යැයි ඔහු සඳහන් කළේය.

මීට පෙර වාර්තා වූ මතභේදාත්මක බහාලුම් නිකුත් කිරීම් සමඟ සසඳමින් ඔහු ප්‍රශ්න කර සිටියේ ආනයනකරුට අඩු බදු කාණ්ඩය යටතේ නිෂ්කාශනයට පහසුකම් සපයන දේශපාලන හෝ ව්‍යාපාරික සම්බන්ධතා තිබේද යන්නයි.

EconomyNext වාර්තාවට අනුව, BYD වාහන 1,000කට වඩා දැනටමත් නිෂ්කාශනය කර කිලෝවොට් 100 වර්ගීකරණය යටතේ ගැනුම්කරුවන්ට නිකුත් කර ඇත.

සමහර විදෙස් වෙළඳපලවලට BYD කිලෝවොට්100 වාහන නිකුත් කෙරෙන අතර, සම්මත ATTO 3 රථයක් කිලෝවොට්150 මෝටරයක් ඇති බව ප්‍රකටය.

වාහන නැවත වර්ගීකරණය කිරීම නිසා ආනයනකරුවන්ට පසුව හෝ ඉහළ බදු ගෙවීමට සිදුවනු ඇති අතර වාහන ගැනුම්කරුට අමතර වියදම් පැනවිය හැකිය.

ශ්‍රී ලංකා රේගුව හෝ මෙරට BYD නිල නියෝජිතයා මේ සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දකවා නොමැත.

BYD ATTO 3 රථ බලාපොරොත්තුවෙන් සිටින ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු පවසා තිබුණේ මෙම මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබූ ඔවුන්ගේ වාහන ප්‍රමාද වී ඇති බවයි.

ප්‍රමාදය පිළිබඳව දේශීය නියෝජිතයා තමන්ට දැනුම් දුන් නමුත් කිසිදු හේතුවක් ලබා නොදුන් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.