July 7, 2025

අදානි සමූහය මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් රජය විසින් ඉකුත් මාස කිහිපය තුළ අහෝසි කිරීම හමුවේ සමාගම විසින් දරන ලද ඇමරිකානු ඩොලර් මිලියන කිහිපයක වියදම ප්‍රතිපූරණය කළයුතු එම සමාගම පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

යෝජිත සුළං බලාගාර ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ඉන්දියාවේ Adani Green Energy සමාගම මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබුණේ, ජාතික ජන බලවේගය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව යටතේ මෙරට උත්පාදනය කරන ලද විදුලිබල පිරිවැය අඩුකිරීමට උත්සහ දරමින් සිටින පසුබිමක් තුළය.

අදානි සමාගම සමඟ අදාළ ව්‍යාපෘතිය සඳහා පසුගිය ආණ්ඩුව එකඟ වී තිබූ නමුත් එම පිරිවැයට ජාතික ජන බලවේගය ආණ්ඩුව එකඟ නොවීය.

එම මතභේදාත්මක ව්‍යාපෘතිය යටතේ අදානි සමාගම ඩොලර් මිලියන 442ක් ආයෝජනය කරමින් උතුරු පළාතේ මන්නාරම සහ පුනරීන් නගරවල සුළං බලාගාර ඉදිකිරීමට සූදානම් විය.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ 2025 වන විට අවම වශයෙන් මෙගාවොට් 350ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කළ වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා සමාගම් බලධාරීන් මේ වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් යොමුකර ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

කෙසේවෙතත්, සමාගම විසින් එම අධිකාරිය වෙත ගෙවා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ඇතුළුව සියලුම වියදම් ආවරණය වන පරිදි තක්සේරු කිරීමට නියමිත මුදල තවමත් නිශ්චිතව දක්වා නොමැති බව ද සඳහන් වේ.

රජයේ ඉහළ නිලධාරිකු උපුටා දක්වමින් මේ බව වාර්තා කරන ඩේලි මිරර් පුවත්පත පෙන්වාදෙන්නේ, අදාළ ප්‍රතිපූරණය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් නීති උපදෙස් ලබා ගන්නා බවයි.

යම් මුදලක් ගෙවීමක් සිදුවෙනවා නම් එය සිදු කරන්නේ කැබිනට් අනුමැතියෙන් පමණක් බවද එම නිලධාරියා පවසා තිබේ.