August 25, 2026

2036 වසර වන විට ඉන්දියාව, ලොව දෙවන විශාලතම ධනවත් පාරිභෝගික වෙළෙඳපොළ ලෙස චීනය අභිබවා යනු ඇතැයි NielsenIQ සහ World Data Lab නිකුත් කළ නව වාර්තාවක් පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව, 2026 දී ඉන්දියාවේ ධනවත් පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව කෝටි 2.6ක් පමණ වන අතර, ඉදිරි වසර 10 තුළ තවත් කෝටි 8.2ක් එකතු වී 2036 වන විට එය කෝටි 10.8ක් දක්වා ඉහළ යනු ඇත.

එම කාලය තුළ චීනයේ ධනවත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කෝටි 10.3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මෙහි “ධනවත් පාරිභෝගිකයා” ලෙස අර්ථ දක්වා ඇත්තේ දිනකට ඇමෙරිකානු ඩොලර් 90කට වැඩි මුදලක් වියදම් කරන පුද්ගලයන් ය.

එබැවින් මෙය ආදායම හෝ දේපළ මත නොව, වියදම් කිරීමේ හැකියාව මත පදනම් වූ පාරිභෝගික කාණ්ඩයකි.

වාර්තාව පෙන්වා දෙන්නේ 2026 වන විට ඉන්දියාවේ දිනකට ඩොලර් 13ත් 90ත් අතර වියදම් කරන “මූලික පාරිභෝගිකයන්” කෝටි 64.9ක් ද සිටින බවයි.

ඉහළ යන ආදායම්, නාගරීකරණය, මධ්‍යම පන්තියේ ව්‍යාප්තිය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය ඉන්දියාවේ පාරිභෝගික බලය වේගයෙන් ඉහළ නංවන ප්‍රධාන හේතු ලෙස එම වාර්තාව ඔස්සේ හඳුන්වා දී තිබේ.

එමෙන්ම 2036 වන විට ලොව පුරා ධනවත් පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව කෝටි 65.7 සිට 102.5 දක්වා ඉහළ යනු ඇතැයි ද වාර්තාව පුරෝකථනය කර තිබේ.

ඒ අනුව ඉන්දියාව ඉදිරි දශකයේ ලොව වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික වෙළෙඳපොළක් බවට පත්වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.