September 6, 2025

රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානු භාණ්ඩ සඳහා දැඩි ආනයන තීරුබදු පැනවීමට ගත් තීරණය නොතකා, ආර්ථික වශයෙන් ලාභදායී බව ඔප්පු වන රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව කරගෙන යන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඊයේ සඳහන් කළාය.

2022 දී රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් යුරෝපය සහ එක්සත් ජනපදය රුසියානු තෙල් ප්‍රතික්ෂේප කරන ලදී.

මේ හේතුවෙන් රුසියාවෙන් මුහුදු බොරතෙල් මිලදී ගන්නා විශාලතම ගැනුම්කරු බවට පත්වීම සඳහා ඉන්දියාව රුසියානු නිෂ්පාදනයේ වට්ටම් ප්‍රයෝජනයට ගෙන තිබේ.

නවදිල්ලිය පවසා ඇත්තේ රුසියානු තෙල් මිලදී ගැනීම් වෙළඳපොළ සමතුලිතව තබා ඇති බවයි.

යුක්රේන ගැටුම අවසන් කිරීමට තැරැව්කරුවකු වීමට උත්සාහ කරන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ තෙල් ආනයන මොස්කව්හි යුද ප්‍රයත්නයට අරමුදල් සැපයීමට උපකාරී වන බවත් සඳහන් කරමින් පසුගිය මාසයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවූ බව සඳහන් කළේය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් දේශීය ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN-News18 වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලොව තුන්වැනි විශාලතම තෙල් ආනයනකරු සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට රුසියානු සැපයුම් අත්හැරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.

“අපට අපට වඩාත් ගැළපෙන තීරණයක් ගැනීමට සිදුවනවා. එමනිසා අපි නිසැකවම එම බොරතෙල් මිලදී ගන්නවා,” යනුවෙන් ඇය පැවසුවාය.

ඇය සඳහන් කළේ ඉන්දියාව සිය විදේශ විනිමයෙන් වැඩි කොටසක් වැය කරන්නේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා බවයි.

එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සිකුරාදා ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ ඩොලරයට සහාය දෙන ලෙසත්, වොෂින්ටනය සමඟ වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙසත්, රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වන ලෙසත්ය.

“අපි සැමවිටම කතා කිරීමට කැමැත්තෙන් ඉන්නවා. චීන ජාතිකයන් අපට අලෙවි කරනවා. ඉන්දියානුවනුත් අපට අලෙවි කරනවා. අපි ලෝකයේ පාරිභෝගිකයෝ,” යනුවෙන් ලුට්නික් ‘බ්ලූම්බර්ග් සර්වේලන්ස්’ වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

“ඩොලරයට සහාය දෙන්න, අමෙරිකා එක්සත් ජනපදයට සහාය දෙන්න, ඔබේ විශාලතම සේවාදායකයාට සහාය දෙන්න නැතහොත්, ඔබ 50% තීරුබදුවක් ගෙවයි කියලා මම සිතනවා. මෙය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි බලමු.” යනුවෙන් ඉන්දියාව මාසයකින් හෝ දෙකකින් නැවත පැමිණ, ට්‍රම්ප්ගෙන් සමාව අයැද වෙළඳ ගිවිසුමක් අපේක්ෂා කරන බවට ඔහු අනාවැකි පළ කළේය.

2025 මාර්තු දක්වා වූ මූල්‍ය වර්ෂය තුළ, විදේශයන්ගෙන් තෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම් ඉන්දියාවේ සමස්ත ආනයනවලින් හතරෙන් එකක් පමණ විය.

“රුසියානු තෙල් හෝ වෙනත් ඕනෑම දෙයක් වේවා, අනුපාත, සැපයුම් හෝ ඕනෑම දෙයක් අනුව අපගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ස්ථානයෙන් මිලදී ගැනීම අපගේ තීරණයයි,” යනුවෙන් සීතාරාමන් තවදුරටත් පැවසුවාය.

බටහිරට එරෙහි සහයෝගීතාව පෙන්නුම් කිරීමක් ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් මෙම සතියේ ටියැන්ජින් හි පැවති සමුළුවකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එක් විය.

ඉන්දියානු භාණ්ඩ සඳහා එක්සත් ජනපද තීරුබදු බර අඩු කිරීමේ ගිවිසුමක් සාකච්ඡා කිරීම අරමුණු කරගත් දෙරට අතර සාකච්ඡා අසාර්ථක වී ඇත.

පසුගිය මාසයේ, එක්සත් ජනපද වෙළඳ නිලධාරීන් නවදිල්ලියට යෑමට සැලසුම් කළ සංචාරයක් අවලංගු කරන ලද අතර, එතැන් සිට දෙපාර්ශ්වය අතර භෞතික රැස්වීම් පවත්වා නොමැත.

අඩු මිලට රුසියානු තෙල් ආනයනය කර වැඩි මිලකට පිරිපහදු කළ ඉන්ධන නැවත විකිණීමෙන් ඉන්දියාව ලාභ ලබන බවට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් චෝදනා කර තිබේ.