
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයන් 12 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 20 දෙනෙකුට තුවාල සිදු කරමින් දිල්ලියේ සිදු වූ මෝටර් රථ පිපිරීම ‘ත්‍රස්ත ක්‍රියාවක්’ ලෙස සළකන බව ඉන්දීය රජය තහවුරු කර තිබේ.
ඉන්දීය රජය පවසන්නේ අපරාධකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට පමුණුවන බවයි.
“2025 නොවැම්බර් 10 වැනිදා සවස රතු බල කොටුව අසල මෝටර් රථ පිපිරීමක් හරහා ජාතික විරෝධී බලවේග විසින් සිදු කරන ලද දරුණු ත්‍රස්ත සිදුවීමක් රට තුළ දක්නට ලැබිණි. පිපිරීමෙන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය. මෙම අඥාන ප්‍රචණ්ඩ ක්‍රියාවට ගොදුරු වූවන්ට කැබිනට් මණ්ඩලය සිය ගෞරව දක්වන අතර වියෝ වූ පවුල්වලට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි.” යනුවෙන් ඊයේ සම්මත කරන ලද යෝජනාවකින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළේය.
“සිද්ධිය පිළිබඳ විමර්ශනය ඉතා කඩිනමින් හා වෘත්තීයභාවයෙන් යුතුව සිදු කළ යුතු බවත් අපරාධකරුවන්, ඔවුන්ගේ උදව්කරුවන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් හඳුනාගෙන ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පමුණුවන ලෙසත් කැබිනට් මණ්ඩලය නියෝග කරයි,” යනුවෙන් කැබිනට් මණ්ඩලය තවදුරටත් පැවසීය.
කෙසේවෙතත් ඉන්දියාවේ දිල්ලි නුවර ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරිම ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම ප්‍රහාරයෙන් මද වෙලාවකට පසු(ඊයේ පස්වරු 9.07ට) X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
ඔහු එම පණිවිඩය නිකුත්කරන මොහොත වන විටත් ඉන්දීය රජය එම පිපිරිම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී තිබුණේ නැත.
කෙසේවෙතත් ඊට මද වෙලාවකට පසු(ඊයේ පස්වරු 9.42ට) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අදාළ ‘පිපිරිම’ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ,
‘අද සවස දිල්ලියේ සිදු වූ පිපිරීමෙන් තම ආදරණීයයන් අහිමිවූවන්ට ශෝකය පළකරමි. තුවාල ලැබූවන් ඉක්මණින් සුවය ලබාගැනීමට හැකි වේවා. පීඩාවට පත්වූවන්ට බලධාරීන් විසින් සහාය ලබාදෙනු ලැබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ජි සහ අනෙකුත් නිලධාරීන් සමඟ තත්ත්වය සමාලෝචනය කරන ලදී.’ යනුවෙනි.
දිල්ලියේ පිපිරිම ත්‍රස්ත ප්‍රහාරයක් බව ඉන්දීය අගමැතිවරයා මෙම X පණිවිඩය නිකුත් කරන අවස්ථාව වන විටත් ඉන්දීය රජය තහවුරු කර නොතිබිණි.
දිල්ලියේ ඓතිහාසික රතු බල කොටුවෙන් පිටත සඳුදා සවස සිදු වූ පිපිරීම 2011 සිට දිල්ලි නගරයේ සිදු වූ පළමු පිපිරීමයි.
ඉන්දීය බලධාරීන් දැඩි ත්‍රස්ත විරෝධී නීති යටතේ පිපිරීම පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර සියලු කෝණ විමර්ශනය කරන බව පවසා තිබේ.
පිපිරීම සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙකු නම් කර හෝ අත්අඩංගුවට ගෙන නොමැත.
දිල්ලි නුවර පිපිරීමට පැය කිහිපයකට පෙර, ජම්මු සහ කාශ්මීර ෆෙඩරල් ප්‍රදේශයේ පොලිසිය පැවසුවේ කාශ්මීරයේ සහ හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ත්‍රස්ත විරෝධී පරීක්ෂණයක් සහ සෝදිසි කිරීම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
වැටලීම්වලදී පොලිසිය පිස්තෝල දෙකක්, ප්‍රහාරක රයිෆල් දෙකක් සහ බෝම්බ සෑදීමේ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් සොයා ගත් බව කාශ්මීර පොලිස් ප්‍රකාශයක සඳහන් විය.
එම පුද්ගලයන් පාකිස්ථානය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායම් වන ජයිෂ්-ඊ-මොහොමඩ් සහ අන්සාර් ගස්වාත්-උල්-හින්ද් සමඟ සම්බන්ධ බව ද එහි සඳහන් විය.
පාකිස්ථානය කාශ්මීරයේ ඉස්ලාමීය සටන්කාමීන්ට සහාය දෙන බවට ඉන්දියාව චෝදනා කරන නමුත් ඉස්ලාමාබාද් බලධාරීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
1989 සිට එරට පැවති ඉන්දියානු විරෝධී කැරැල්ලකින් දස දහස් ගණනක් මිය ගොස් ඇතත් මෑත වසරවලදී ප්‍රචණ්ඩත්වය අඩු වී ඇත.
අප්‍රේල් මාසයේදී, කාශ්මීරයේ හින්දු සංචාරකයන්ට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගිය අතර, නවදිල්ලිය පකිස්ථානයේ සහාය ලබන ඉස්ලාමීය ‘ත්‍රස්තවාදීන්’ට ඒ සම්බන්ධයෙන් දොස් පවරා තිබිණි.
එය ඉස්ලාමාබාද් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද තවත් චෝදනාවකි.
ඊයේ පුපුරා ගිය මෝටර් රථයේ රියදුරු සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනා අතර ඇති සම්බන්ධය පිළිබඳ පොලිසිය විමර්ශනය කරමින් සිටින බව වාර්තා වී තිබේ.
දිල්ලි පිපිරීමෙන් පසු, කාශ්මීර පොලිසිය හිමාලයානු කලාපයේ ස්ථාන සිය ගණනක වැටලීම් සිදු කළ අතර පුද්ගලයන් 500ක් පමණ රඳවා ගත් බව කාශ්මීර පොලිස් ආරංචි මාර්ග රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
බොහෝ දෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කළ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart