May 21, 2026

ඉන්දීය රුපියල ස්ථාවර කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නැංවීම, වැඩි වශයෙන් මුදල් හුවමාරු සිදු කිරීම සහ විදේශීය ආයෝජකයින්ගෙන් ඩොලර් රැස් කිරීම ඇතුළු තමන් සතු සියලුම විකල්පයන් භාවිත කිරීම පිළිබඳව ඉන්දීය මහ බැංකුව සලකා බලමින් සිටින බව ඒ පිළිබඳ දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා අනුව මෙම සතියේදී ඉන්දීය රුපියල ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව 97 කට ආසන්න පෙර නොවූ විරූ අවම අගයක් දක්වා පහත වැටීමෙන් පසුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට, එහි අධිපති සංජේ මල්හෝත්‍රා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අභ්‍යන්තර රැස්වීම් මාලාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡා රහසිගත බැවින් ඔවුන් සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා තිබේ.

මේ වන විට සලකා බලමින් පවතින එක් විකල්පයක් වන්නේ පොලී අනුපාත ඉහළ නැංවීමය.

මීළඟට නියමිත මුදල් ප්‍රතිපත්ති තීරණය ජූනි 5 වනදා ගැනීමට නියමිතව තිබුණද, මහ බැංකුව මීට පෙර 2022 මැයි මාසයේදී ද නියමිත කාලසටහනෙන් බැහැරව මෙවැනි ගැලපීමක් සිදු කර ඇත.

අනෙකුත් පියවර අතර විදේශගත ඉන්දියානුවන් සඳහා වන තැන්පතු ක්‍රමවේදයක් හරහා විදේශයන්ගෙන් ඩොලර් රැස් කිරීම සහ ස්වෛරී ඩොලර් බැඳුම්කරයක් විකිණීම ඇතුළත් වන බව වාර්තා වේ.

බැඳුම්කර පිළිබඳ අවසන් තීරණය රජය විසින් ගනු ඇතැයි වාර්තා වන අතර දැනට සලකා බලමින් පවතින මෙම පියවරයන් 2013 වසරේ පැවති taper tantrum ආර්ථික අර්බුද සමයේදී ගනු ලැබූ සමහර පියවරයන්ට සමාන වේ.

විදේශ විනිමය ගලා ඒම දිරිගැන්වීම සඳහා ඉන්දියාව එකල දේශීය බැංකු හරහා අනේවාසිකයන් සඳහා තැන්පතු ක්‍රමවේදයක් ලබා දී තිබුණි.

මෙම තැන්පතු ක්‍රමවේදයන් හරහා මෙවර ඩොලර් බිලියන 50 ක් තරම් විශාල මුදලක් ආකර්ෂණය කරගත හැකි වනු ඇතැයි ඉන්දීය මහ බැංකුව ඇස්තමේන්තු කරන බව පැවසේ. පෙර අවස්ථාවේදී ඔවුන්ට ආකර්ෂණය කරගත හැකි වූයේ ඩොලර් බිලියන 30 කට ආසන්න මුදලකි.