July 1, 2025

උපරිම ආරක්ෂාව සහිතව මගීන් ප්‍රවාහනය කිරීමේදී ආසන පටි සවිකිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක බස් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

එම නීතියට අනුකූල වීමට අකමැති පුද්ගලයන් වෙනත් කර්මාන්තයක රැකියාවක් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රියදුරන්ට මෙන්ම ඉදිරි අසුනේ ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම 2011 ඔක්තෝම්බර් මස 01 වනිදා සිට හඳුන්වාදී ඇති බවයි.

කෙසේවෙතත් සැහැල්ලු වාහන සඳහා මෙම නියාමනය තරමක් දුරට ක්‍රියාත්මක කර ඇති අතර, බස් රථ සහ ලොරි රථ සඳහා එය නිසි පරිදි ක්‍රියාත්මක කර නොතිබිණි.

“පසුගිය මාස තුනක කාලය තුළ අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. බස් රථ හිමියන් තම වාහන අලංකාර කිරීමට කාලය සහ සම්පත් සොයාගෙන තිබුණනේ, ඒක නිසා රියදුරන්ට ආසන පටි සවිකිරීමට කාලය නොමැති බව කියන්න බැහැ.” යනුවෙන් අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ග බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මීට අමතරව, සැහැල්ලු වාහනවල පසුපස ආසනවල අසුන් ගන්නා මගීන් ද අධිවේගී මාර්ග භාවිත කිරීමේදී ආසන පටි පැළඳිය යුතු වේ.

“මෙම ක්‍රියාමාර්ග මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න පමණක් නෙමෙයි. ඒවා ජීවිත ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වනවා. බස් රථවල ආසන පටි සවිකිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීලා තිබෙනවා, ඒක් නිසා නිදහසට කරුණු තවදුරටත් ඉවසන්නේ නැහැ” අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම හිඟයක් ඇති කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් හිතාමතාම ආසන පටි සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු අනාවරණය කළේය.

එවැනි ක්‍රියා සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවටද අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.