August 14, 2026

විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

තීන්දු තීරණ ගැනීමේදී අවදානම් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජිව් අමරසූරිය කියාසිටියේ, සංවර්ධනය, අන්තර්ජාතික සබඳතා සහ ප්‍රතිපත්ති සම්පාදනය වැනි ක්ෂේත්‍රවලදී රජයකට අවදානම් ගැනීමට සිදුවුවද, අධිකරණයේ ස්වාධීනත්වය යනු කිසිසේත්ම පාවානොදිය යුතු උතුම් සංකල්පයක් බවයි.

“ජනාධිපතිවරයා හිතනවා නම් මෙතන යම් අවදානමක් තියෙනවා කියලා, කරන්න තියෙන හොඳම දේ තමයි මේ යෝජනාව ඉදිරියට අරන් නොයන එක,” යනුවෙන් හෙතෙම පවසයි.

නීතිඥ සංගමය දැනට රජය සමඟ කෙළින්ම සටනකට එළඹ නැතත්, අධිකරණයේ ස්වාධීනත්වයට හානිවන ඕනෑම පියවරකට එරෙහිව නීත්‍යානුකූලව සියලු බලතල යොදවා දැඩි ලෙස පෙනීසිටින බව ඔහු අවධාරණය කළේය.

මෙය රජය සමඟ කරන ගැටුමක් ලෙස නොසලකා, රටට වඩාත්ම සුදුසු දේ තීරණය කිරීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් මැද මාවතකට පැමිණීමට උත්සාහ කළ යුතු බව ඔහු පැවසීය.

ආර්ථික සංවර්ධනයේදී රිස්ක් ගත්තාට කමක් නැති වුවද, අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වීමේ හෝ ඊට හානි වීමේ කුඩා හෝ ඉඩක් පවතින්නේ නම් එය සමස්ත රටටම බරපතල ගැටලුවක් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම යෝජනාව හකුළා ගනීවිද යන්න පිළිබඳව අනාවැකි කීමට නොහැකි වුවත්, රජය මේ පිළිබඳව නැවත සිතා බලා සාධාරණ එකඟතාවකට පැමිණෙනු ඇතැයි තමන් තවමත් බලාපොරොත්තු වන බව නීතිඥ සංගමයේ සභාපතිවරයා ජනමාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැවසීය.