
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන ලද්දේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම විසින් බව එම පක්ෂයේ හිටපු මහලේකම්, වර්තමාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මේ වන විට ශ්රීලනිපය කණ්ඩායම් තුනකට බෙදී ඇති බවද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වාදෙයි.
පහතින් දැක්වෙන්නේ ශ්‍රීලනිපයේ බෙදීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති අදහස් කිහිපයකි.
– ඔබ සජබ සහ නිදහස් පක්ෂය අතර දෝලනය වෙනවා වගේ පෙනෙන්නේ?
අපි සමගි ජන බලවේගයට අයිති සන්ධානයයි නියෝජනය කරන්නේ. ඒ තුළ පක්ෂ ගණනාවක් වෙනවා. නිදසුන් විදිහට රාවුෆ් හකීම් මැතිතුමාගේ පක්ෂය, රිෂාඩ් බදුර්දීන්, සුමන්දිරන් මැතිතුමන්ලාගේ පක්ෂ ආදිය පෙන්වා දෙන්න පුළුවන්. ඒත් මං තවමත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්. ඒ අනන්‍යතාව නැති කරගෙන නැහැ. අනෙක, මෙතැනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කණ්ඩායමක් විතරයි සමගි ජන සන්ධානය සමඟ එකතු වී ඉන්නේ.
– ඒ අතරතුර ඔබලාගේ පක්ෂය බෙදී වෙන්වෙලා නේද?
ඔව්. කොටස් තුනකට බෙදී තියෙනවා. පිරිසක් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා එක්ක ඉන්නේ. තවත් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට එකතු වුණා. ඒ හැර මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විජයදාස රාජපක්ෂ මහතා එක්ක ඉන්නේ. කෙටි කාලයකදී මේ පක්ෂය මෙතරම් විනාශ කළේ පක්ෂයට උඩින් ගිහින් ඇමැතිකම් භාර ගත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමයි. ඒ අයට දැන් පක්ෂය ගැන කතා කරන්නටවත් අයිතියක් නැහැ. ඒත් මං පක්ෂය රැකගෙන හිටියා.
අනෙක මේ වනවිට පක්ෂයට අදාළ නඩු ගණනාවකුත් විභාග වෙනවානේ. ඒ හැර පෙරත් අධිකරණය මඟින් මා පක්ෂයෙන් ඉවත් කිරීම වැරදි බවට නඩු තීන්දු දෙකක් දී තිබෙනවා. ඒ සෑම වතාවකදීම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ලැබුණු ඇමැති බලතල පාවිච්චි කරමින් පෙර කී අය මට පක්ෂ කාර්යාලයට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒත් මං අත්හරින්නේ නැහැ.
ඇත්තෙන්ම, අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැඳවිය හැක්කේත් සභාපතිවරයාටම පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපති ධුරය තාවකාලිකව අධිකරණයෙන් අත්හිටුවනු ලැබුවා. ඒ අනුව පක්ෂයට සභාපතිවරයකු අහිමි වුණා. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසගේ පත්වීම් නීතිවිරෝධියි. ඒත් ඒ මහතා ඇතුළු පිරිසක් අනීතිකව දේශපාලන මණ්ඩලය කැඳවනු ලැබුවා. ඒත් ඊට නිල වශයෙන් සම්බන්ධ වුණේ පක්ෂ සාමාජිකයන් තිදෙනකු විතරයි. ඇත්තෙන්ම එහි පහළොස් දෙනකු සිටිය යුතුයි.
හැබැයි, දැන් කලින් කියූ තුන් දෙනාගෙන් දෙදෙනකුව වැඩබලන සභාපති සහ වැඩබලන ලේකම් විදිහටත් පත්කරගෙන තිබෙනවා. ඒකත් වැරදියි.
අනෙක, අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපතිවරයකු සිටිය නොහැකියි. මෑතකදී ඒ අයම නැවත රැස්වී සභාපතිවරයකු, ලේකම්වරයකු පත් කරගෙන තිබුණත් ඔවුන්ට ඊට බලයක් නැහැ. එහෙව් ඒ අය නිදහස් පක්ෂයේ ගොඩනැඟිල්ලත් බලෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ අයට ඕනෑ අය පත් කරනවා. මං ඒ පත්වීම්වලට විරුද්ධව නඩු පවරා තිබෙනවා. ජනවාරි 10දා එහි නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි. නැවත ලේකම්වරයා විදිහට පක්ෂය ඇතුළට යෑමෙන් පසුව භේදයක් නැතිව පක්ෂයේ සියල්ලන් සමඟ සාකච්ඡා කරමින් නැවත එය ගොඩනැඟීම මගේ බලාපොරොත්තුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart