August 10, 2023

සිය පිතිකරණය අසාර්ථක බව තමන් නොසිතන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස සහ එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඔහු මේ බව කියා සිටියේය.

තිසර පෙරේරා ඉවත්වීමෙන් පසු තමන්ට අංක 06 පිතිකරු වගකීම ගැනීමට සිදුවූයේ එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට ආදේශක ක්‍රීඩකයකු නොමැති නිසා බවද දසුන් ශානක එහිදී කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාකර ඇති තරගාවලිවලදී අංක 06 සහ 07 ක්‍රීඩකයන් අතරින් තමන් පළමු කිහිපදෙනා අතර සිටින බව දසුන් ශානක එහිදි කියා සිටියේය.

අංක 06 සහ 07 පිතිකරුවන් පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩාකරන සහ නරඹන අය හොදින් දන්නා බවත්, තමන් කිසිවිටෙකත් සිය ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් කණගාටු නොවන බවත්, තිසර පෙරේරා ක්‍රීඩා කරන කාලය තුළද මෙම තත්ත්වය පැවැති බවත් ඔහු කියා සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස්ටද එම තත්ත්වයට අංක 06 පිතිකරණයේදි තිබූ බවත්, ඔහු ඊට ඉහළින් ක්‍රීඩා කරද්දී දක්ෂතා අතරට පැමිණි බවද දසුන් ශානක පෙන්වාදුන්නේය.

එහි වෙනස කුමක්ද යන්න වනිදු හසරංග අංක 03 හෝ 04 ක්‍රීඩාකරද්දී පෙනීයන බව දසුන් ශානක සඳහන් කළේය.

තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය තමන්ගේ දක්ෂතාවය තීරණය කරනු ඇති බවද දසුන් ශානක එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.