June 18, 2026

මූල්‍ය වංචාකරුවන්ගෙන් ඕස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 35ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 24.6ක) දඩ මුදලක් ගෙවීමට HSBC බැංකුව එකඟ වී තිබේ.

ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව විසින් 2024 වසරේදී පවරන ලද මෙම නීතිමය ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍යය පදනම් කරගත් මෙම ප්‍රමුඛ බැංකුව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට මීට පෙර අපේක්ෂා කර තිබිණි.

වංචාකරුවන්ගේ ඉලක්ක බවට පත්වූ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බැංකුව තුළ ‘පුළුල් සහ පද්ධතිමය අසාර්ථකත්වයන්’ පවතින බවට ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව එහිදී චෝදනා කර තිබිණි.

කෙසේවෙතත්, නඩුවට මුහුණදෙනු වෙනුවට, පෙන්වාදෙන ලද ‘බරපතල අසාර්ථකත්වයන්’ තමන් අතින් සිදුවූ බව HSBC බැංකුව පිළිගෙන තිබේ.

බැංකුවේ අභ්‍යන්තර පද්ධති සතු පාලන ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවීම සහ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම මඟින් ඔවුන් තමන් සතු නෛතික වගකීම් උල්ලංඝනය කර ඇති බවට මෙහිදී අනාවරණය විය.

“මෙය ගෝලීය වශයෙන් මෙවැනි ආකාරයේ ප්‍රථම නඩු තීන්දුවලින් එකක් වන අතර, මූල්‍ය වංචාවලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම බැංකුවල මූලික වගකීමක් බවට මින් පැහැදිලි පණිවිඩයක් නිකුත් කෙරෙනවා,” යැයි ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාවේ සභාපතිනී සාරා කෝර්ට් ප්‍රකාශ කර ඇත. “HSBC බැංකුවේ මෙම අසාර්ථකත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන් වංචාවන්ට ගොදුරු වීමේ දැඩි අවදානමකට ලක්වූ අතර, ඔවුන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන ගණනක මුදලක් අහිමි වුණා. එමෙන්ම, තමන්ගේ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ට මාස ගණනාවක් බලා සිටීමට සිදු වුණා.”

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ගෙන් සමාව අයැද සිටි බැංකුව, මේ වන විටත් ප්‍රතිපූරණ සහ වන්දි වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 28ක් ගෙවා ඇති බව තහවුරු කළේය. “ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව සමඟ පවතින මෙම නීතිමය ක්‍රියාවලිය සමථයකට පත්කර ගැනීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා. අපගේ ගනුදෙනුකරුවන්ට වන්දි ගෙවීමේ වැඩසටහන සහ මූල්‍ය වංචා වැළැක්වීම, හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් අප විසින් සිදුකර ඇති සැලකිය යුතු පද්ධතිමය සංවර්ධනයන් මෙහිදී නියාමන ආයතනයේ ඇගයීමට ලක්ව තිබෙනවා,” යැයි බැංකුවේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

මෑත වසරවලදී HSBC බැංකුවට විවිධ රටවල නියාමන ආයතනවලින් දිගින් දිගටම දඩ මුදල් පැනවිණි.

2024 ජනවාරි මාසයේදී ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එංගලන්ත බැංකුව (Bank of England) විසින් පවුම් මිලියන 57.4ක දඩයක් පැනවූ අතර, 2021 වසරේදී මුදල් විශුද්ධිකරණ මර්දන පාලන ක්‍රමවේදයන්හි පැවති දුර්වලතා හේතුවෙන් බ්‍රිතාන්‍යය තුළ පවුම් මිලියන 64ක දඩයක් ද පනවන ලදී.

HSBC බැංකුවෙන් එවන්නාක් මෙන් ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) යවා, ගනුදෙනුකරුවන් රවටා ඔවුන්ගේ බැංකු තොරතුරු ලබාගන්නා “Spoofing” (අනුකරණය කිරීමේ) වංචාවන් 2023 සහ 2024 වසරවලදී ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, මේ හේතුවෙන් බොහෝ ගනුදෙනුකරුවන්ට ඩොලර් දහස් ගණනින් මුදල් අහිමි විය.

ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාවේ දත්තවලට අනුව, 2023 ආරම්භයේ සිට 2024 අවසානය දක්වා කාලය තුළ HSBC බැංකු ගිණුම් ආශ්‍රිතව සිදු වූ අනවසර ගනුදෙනු පිළිබඳ වාර්තා වීම් සියයට 380 කින් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මීට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ බැංකුවේ අනන්‍යතාව භාවිත කරමින් සිදුකළ ව්‍යාජ පුද්ගල මාරු (Impersonation Scams) වංචාවන්ය.

මීට උදාහරණ දක්වමින් ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත්තේ, 51 හැවිරිදි දන්ත තාක්ෂණ ශිල්පිනියකට ඇය සතු මුළු ඉතිරිකිරීම් පාහේ වූ ඕස්ට්‍රේලියානු ඩොලර් 47,000ක් අහිමි වී ඇති බවයි.

එමෙන්ම, තවත් පනස් හැවිරිදි යුවළකගේ නිවාස ණය ගිණුමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 48,000ක මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට මාරුකර තිබේ.