September 17, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(16) නියෝග කළේය.

ඒ, එයාර් බස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදීය.

මන්ත්‍රීවරයා මීට පෙර අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේ එම ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි.

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ ඊයේ(16) කැඳවනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට අද දැනුම්දුන්නේ එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර ප්‍රමාදයකින් තොරව සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා කිරීමට කටයුතු කරන බවයි.

මෙහිදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර;

“මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා ස්වාමීනී. මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ එයාර් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්. ඒ අනුව මේ විමර්ශනයට අදාලව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයක් සිදුකෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ. ඒකට හේතුව ස්වාමිනී මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදුකිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමිවෙනවා.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේ.”

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ නාමල් රජපක්ෂට මෙම ගණුවේදී අල්ලස් ලෙස ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශ මගින් අනාවරණය කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මෙසේ සඳහන් කළේය;

“ස්වාමීණී, මේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට. ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයි.එන්.සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැරවෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරන සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕ.සී.බී.සී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා. මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා. මේ මුදල තමා ස්වාමීනී මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස්සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැටදහස් හරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශනවලදී අනාවරණය වු කරුණු.”

සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහාය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමඟ සිදුකළ ගණුදෙනු සම්බන්ධව ඊමේල් පණිවිඩ ද සොයාගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම්දුන්නේය.

සැකකරුට ඇප ලබාදීම සම්බන්ධව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය දැක්වූ අතර, සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇප ඉල්ලා සිටිය හ.

මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මෙසේ සඳහන් කළේය.

“මාගේ සේවාදායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා, දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී. මොළේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ. ඒ නිසා මගේ සේවාදායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මනංකල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවාදායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමිණී මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇපකාරයන්ට බලපෑම් කරයිද?. මෝඩයෙක් නෙමෙයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප ප්‍රදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෑනේ ස්වාමීනී. මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාරගත වෙන්න වෙනවා කියලා.”

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 23 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.(News 1st)