August 15, 2026

ග්‍රීසියේ සිට ජර්මනිය දක්වා පියාසර කරමින් තිබූ Ryanair සමාගමට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානයක අඩි 16,000ක් අහසේදී සිදුවූ ත්‍රාසජනක සිදුවීමක තොරතුරු මේ වන විට ඇමෙරිකානු ගුවන් ආරක්ෂණ විමර්ශකයන් විසින් හෙළිදරව් කර තිබෙනවා.

පසුගිය ජූලි 10 වැනිදා සිදුවූ මෙම අනතුරේදී යානයේ දකුණු පස එන්ජිමේ පංකා පෙත්තක් (fan blade) එකවරම කැඩී ගොස් ඇති අතර, ඒ සමඟම එහි කොටස් විසිවී ගොස් යානයේ 11 වන පේළියේ ජනේලයක් කුඩුවී ගොස් තිබෙනවා.

ජනේලය කැඩීයෑමත් සමඟ ඇතිවූ අධික පීඩන වෙනස නිසා 11F අසුනේ සිටි 61 හැවිරිදි මගියෙකු අර්ධ වශයෙන් ජනේලයේ හිඩැසෙන් එළියට ඇදීගොස් තිබෙනවා.

කෙසේවෙතත්, යානයේ සිටි සසුන් මගීන් වහා ක්‍රියාත්මක වී එම පුද්ගලයාව නැවත යානය තුළට ඇදගැනීමට සමත්වෙලා. බෙල්ලට සහ උරහිසට තුවාල ලැබූ ඔහුට යානයේ සිටි වෛද්‍යවරයකු විසින් ප්‍රථමාධාර ලබා දී ඇති අතර, මගීන් විසින් ගුවන් යානයේ පැන්ට්‍රියේ තිබූ ලෝහ පෙට්ටියක් යොදාගෙන ජනේලයේ හිඩැස වසාදැමීමට ද උත්සාහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විමර්ශකයන් පවසන්නේ එන්ජින් පෙත්ත කැඩී ගොස් ඇත්තේ ලෝහමය දුර්වලතාවයක් නිසා බවයි. එමෙන්ම එන්ජිම තුළ කුරුල්ලන්ගේ පිහාටු කොටස් තිබී හමුවී ඇති අතර, පසුගිය වසර තුළ මෙම එන්ජිම කුරුල්ලන්ගේ ගැටීමේ සිදුවීම් 4කට මුහුණ දී ඇති බව ද සඳහන්.

2025 නොවැම්බර් සහ 2026 මැයි යන මාසවලදී මෙම එන්ජිම පරීක්ෂාවට ලක්කළ ද එවකට කිසිදු දෝෂයක් හමුවී නොතිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.