August 18, 2025

2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවන් සම්බන්ධයෙන්, මෙම සිදුවීමේදී කුමාර ජයකොඩි පාර්ශ්වය වෙනුවෙන් නීතිමය කටයුතුවලට මැදිහත්වූ නීතිඥ ජානක අධිකාරි අදහස් පළකර ඇත.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම සටහන මෙසේය.

“බංකොලොත් සුන්බුන් විපක්ෂේ තවත් නෝන්ඩි වෙන ජයකොඩි ඇමතිට එරෙහි දූෂණ චෝදනාව ගැන මගේ ශත දෙක….

ලංකාවට වැඩිම පොහොර ප්‍රමාණයක් ආනයනය කරන මිලදී ගැනීම්, ටෙන්ඩර් සම්බන්ධව වැඩ කල ලංකා පොහොර සමාගමේ හිටපු කළමණාකාරවරයෙකු වූ වර්තමාන බලශක්ති ඇමති ජයකොඩි සහෝදරයාට ගබඩාවක් වටේ කාපට් දැමීමකින් සිදු කළ වංචාවක් පිළිබඳ දූෂණ චෝදනා එල්ල වීම පිළිබඳ මා ඉතා සතුටට පත්වෙමි.

ඩොලර් මිලියන ගණන්වලින් වැඩ කරපු මිනිහෙකුට රුපියල් චෝදනාවක් එල්ල කිරීම තුළින්ම විපක්ෂය ඉන්නේ වැලේවැල් නැති අහේනියකින් බව පැහැදිලිය.

ජයකොඩි සහෝදරයාට එල්ල කරන්නේ ඇත්තෙන්ම ඔහු කළමණාකරු ලෙස වන වගකීම හේතුවෙන් වූ චෝදනාවක් ය. එයද දුමින්ද දිසානායකලා 2015 දී ඔවුන්ට අවශ්‍ය වැඩ නොකර නීතියට රූලට වැඩකරන මිලදී ගැනීම් කළමණාකරු එතනින් මාරුකිරීමට ගහපු ගේමකි.

ඒ ගහපු ගේම තුළ ජයකොඩි සහෝදරයාට දෙන විනය නියෝගය වන්නේ ඔහු බදවාගත් මිලදී ගැනීම් කළමණාකරණ ධූරයෙන් ඉවත්කොට වෙනත් තැනකට පහළ ධූරයකට මාරුකිරීමයි.

නමුත් ජයකොඩි සහෝදරයා එම විනය නියෝගය පිළිගන්නේ නැත. එය නිර්මාණාත්මක සේවය අවසන් කිරීමක්ය යන පදනමින් වත්තල කම්කරු උසාවියේ නඩුවක් ගොනුකර, සේවයට වාර්තා කිරීම සිදුනොකරයි.

එහිදී අධිකරණයේ තීරණය වූයේ සේවයට වාර්තා නොකිරීමෙන් සේවය අතහැර ගොස් ඇති බවට නිගමනය කරන බවත් නිර්මාණාත්මක සේවය අවසන් කිරීමක් නොමැති බවත්‍ ය.

මා එම අවස්ථාවේ අදාළ නියෝගය අභියෝගයට ලක්කර මහාධිකරණයේ ඇපෑලක් දැමීමට යෝජනා කළත්, ඕවාට රස්තියාදු නොවී අපි අපේ වැඩ ටික ගොඩදාමු, ඔය රස්සාව මට නැති වුණාට මට දුකක් නෑ, මුන් කියන කියන වැඩ කිහොමත් ගිහිං කරන්න බෑ කියා ඔහු ඇපීල් නඩු දැමීම ප්‍රතික්ෂේප කර සිටියේය.

ඔහු අදාළ අවස්ථාවේ කළමණාකරු වුවද අදාළ විෂය කරන්නේ සහකාර කලමනාකරුවෙක් සහ ලිපිකරු යන දෙදෙනාය. ඔවුන්ට දඬුවම් තබා මූලික විමර්ශනයක් හෝ නැත.

ඒ අනුව දුමින්ද දිසානායකලා කළ දේශපාලන පළිගැනීමක් ජාත්‍යන්තර නිවුස් එකක් කර ගැනීම මට නම් සතුටට කරුණකි.

මන්ද ඒවා අලුයම ලූ කෙළපිඩක් සේ නොසළකා හැරිය හැකි නිසාය.

අහෝ විපක්ෂේ..”