January 19, 2026

ඉන්දියාවෙන් වැඩමකරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනවාරි 21 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රාජ්‍ය අනුග්‍රහය ලත් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සංවිධානය කිරීම සඳහා වන සූදානම සමාලෝචනය කිරීමට සහ විහාරස්ථාන පරිශ්‍රය පරීක්ෂා කිරීමට ඊයේ (18) කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය.

මෙම ප්‍රදර්ශනය 2026 පෙබරවාරි 04 සිට පෙබරවාරි 11 දක්වා පැවැත්වීමට නියමිත බවත්, මූලික සූදානම දැනටමත් ආරම්භ කර ඇති බවත් අමාත්‍ය ජයතිස්ස පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් මෙසේ පැවසීය:

“ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා”.

මෙම අදහස පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් යෝජනා කරන ලද බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

“ඒ අවස්ථාවේදී, ජනාධිපති අනුර දිසානායක ශ්‍රී ලංකාවේ ජනතාවට ධාතු වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාව ලබාදීමට එකඟවුණා.”

නිදහස් දිනයෙන් පසු ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වන බවත් එය දින හතක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එය රටේ ජනතාවට විශේෂ අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, “දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම ආශිර්වාදය විශේෂයෙන් වැදගත් වන බවත්, මෙම සියලු සාධක සැලකිල්ලට ගැනීමෙන් පසුව ප්‍රදර්ශනය සංවිධානය කරන බවත්” ඔහු අවධාරණය කළේය.