October 19, 2026

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමඟ තමන්ගේ සම්බන්ධතාවයක් ඇති බව හැඟවෙන පරිදි පුවත් වාර්තා පළකිරීමට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රජයට සම්බන්ධ පුවත්පත් ආයතනයක සමාජ මාධ්‍ය ගිණුමක ඇතුළු මාධ්‍ය කිහිපයක මෙලෙස අසත්‍ය පුවත් පළකර ඇති බවයි.

තමන් සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වන බැවින් තමන්ට සොහොයුරන් කිසිවකු නොමැති බවත්, පෙළපත් නාමය සමාන වූ පමණින් සිදුවන වැරදි වෙනත් අය පිට පැටවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වසර 11 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන තමන් කිසිදු දිනෙක මන්ත්‍රීවරුන්ට ලබාදෙන ගිනි අවියක් ලබාගෙන නොමැති අතර, තම මියගිය පියා වන සරත් චන්ද්‍ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනි අවියක් ළඟ තබාගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.

දේශපාලන වශයෙන් තම චරිතය ඝාතනය කිරීමේ සහ නමට කැළලක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය වාර්තා පළකර ඇති බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවත් මන්ත්‍රී රාජකරුණා වැඩිදුරටත් සඳහන් කරයි.