November 3, 2025

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (2) ආරම්භ වූ අලි එළවීමේ මෙහෙයුම අතීතයේ සිදු කළ පරිදි මහා පරිමාණයෙන් පලවා හැරීමක් නොවන බවත්, මිනිසුන් සහ අලි ඇතුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම අරමුණු කරගත් කෙටි දුර ස්ථානගත කිරීමක් බවත් පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ..

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසන්නේ මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කළ බවයි.

කිලෝමීටර් 12 සිට 15 දක්වා දිග විදුලි වැටක් ඉදිකර ඇති බවත්, දැනට එහි දෙපස අලි ඇතුන් සිටින බවත් ඔහු පැහැදිලි කළේය.

එබැවින්, මෙහෙයුමේ අරමුණ වන්නේ වැට හරහා ගොස් ගම්මානවලට ඇතුළු වූ අලි ඇතුන් දිගු දුරක් පලවා හැරීම නොව, අනෙක් පැත්තට නැවත එළවා දැමීමයි.

“මේක මිනිස්සු කතා කරන ආකාරයේ පළවා හැරීමක් නෙවෙයි. කිලෝමීටර් අටක් හෝ දහයක් පමණ සීමිත ප්‍රදේශයක් පමණක් ආවරණය වෙමින් කරන එකක්.” ඔහු පැවසීය.

අතීතයේ දී වනාන්තර එළි පෙහෙළි කර ගම්මාන ස්ථාපිත කරන ලදී.

මේ නිසා දැන් අලි ඇතුන් සහ මිනිස්සු එකම ප්‍රදේශවල ජීවත් වෙති.

අලි සහ මිනිසුන් යන දෙපාර්ශ්වයටම ජීවිත අහිමි වෙමින් පවතින අතර දේපළ විනාශ වෙමින් පවතී.

ආරක්ෂාව සහතික කිරීම සඳහා අලි ඇතුන් කෙටි දුරක් පමණක් ගෙනයෑමට මෙම උත්සාහය දරන බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව විසින් කලින් අනුමත කරන ලද වාර්තා පවා දිගු දුරක් හරහා නොව ආසන්න කලාපවලට පමණක් අලි ඇතුන් පලවා හැරීම නිර්දේශ කර ඇති බව ජයකොඩි තවදුරටත් සඳහන් කළේය.

“අපි යමක් කරන සෑම විටම, ඇතැම් පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වනවා. මෙම සීධියෙදෙඑථ් එහෙමයි. නමුත් අපි මෙය නොකළොත්, තත්ත්වය තවත් නරක අතට හැරෙයි,” ඔහු තවදුරටත් පැවසීය.

කලින් නිවේදනය කළ පරිදි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත ජීවත් වන අලි රංචු පලවා හැරීම ව්‍යාපෘතියේ අරමුණයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 2,000ක් පමණ මෙම මෙහෙයුමට සහභාගී වෙති.

කෙසේවෙතත්, විද්‍යාත්මක පර්යේෂණ මගින් අලි එළවීම අකාර්යක්ෂම බවත් ඇතැම් විට හානිකර බවත් පෙන්වා දී ඇති බවටත් අනතුරු අඟවමින් පරිසරවේදීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම සැලැස්ම නැවත සළකා බලන ලෙසයි.