August 18, 2025

ලබන වසරේ මුල් මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ජනමාධ්‍ය අමතමින් අමාත්‍ය රත්නායක පැවසුවේ, 2024 නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වූ බවත්, මෙම වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූ බවත්ය.

එබැවින්, 2026 මුල් මාස 06 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් යම් යම් නීතිමය බාධාවන් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රත්නායක, ඒවා විසඳාගත හැකි බවට රජය විශ්වාස කරන බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අදහස් කරන බව අමාත්‍ය රත්නායක තවදුරටත් පැවසීය.

“මුලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පුළුල් දේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි තීරණය කර තිබෙනවා” ඔහු තවදුරටත් පැවසීය.