
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ නව කරුණු කිසිවක් ඇතුළත්ව නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට සකස් කරන ලද්දක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වාදෙයි.
2025 අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පෙරවරුවේ නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැඩිදුරටත් පෙන්වාදුන්නේ, මෙම අයවැය ලේඛනයේ සංයුතියෙන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ වැඩසටහනේ සංයුතියට අතිශය සමාන බවයි.
“2025 අයවැය ඉදිරිපත් කිරීමට අනුර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙද්දී ඔහු සම්ප්‍රදායික රහස් පෙට්ටියේ වෙනුවට පන්වලින් තැනූ කවරයක එම ලේඛනය ගෙන ආ බව අද පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඇත්තටම ඔහුට රහස් පෙට්ටියක බහා රැගෙන එන්න තරම් රහසක් අයවැයේ නැහැ. ඔහු ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඉදිරිපත් කර තිබෙන කප්පාදු වැඩසටහන. ඒ වගේම ඔහු ඉදිරිපත් කළේ අවසන් අවුරුදු දෙක තුන තුළ රනිල් වික්‍රමසිංහගේ පාලනය ඉදිරිපත් කළ වැඩපිළිවෙල. 2023 සහ 2024 අයවැය කතා සිදුකිරීමේදී රනිල් වික්‍රමසිංහගේ තොල්, දිව, උගුර සහ ස්වරාලය භාවිතා වුණාට එහි හඬ අයි.එම්.එෆ්. එක ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානවල හඬ. ඊයේ පාර්ලිමේන්තුවේ ඇසුණු හඬ සඳහා අනුර දිසානායකගේ තොල්, දිව, උගුර සහ ස්වරාලය භාවිතා වුණාට ඒ කියැවුණු අදහස් අයි.එම්.එෆ්. එක ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල සහ රනිල් වික්‍රමසිංහගේ අදහස්. රනිල් නැතිව රනිල්ගේ වැඩපිළිවෙල ඉදිරියට යමින් තිබෙනවා.
එංගලන්තයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ දියත් කළ අගමැතිනිය වන මාග්‍රට් තැචර්ගෙන් ඇය මහලු වී විශ්‍රාම ගිය පසුව මාධ්‍යවේදියෙකු අසා තිබුණා ඔබේ දේශපාලන ජීවිතයේ ජයග්‍රහණය කුමක්ද කියලා. එහිදී ඇය තමන්ගේ ජයග්‍රහණය කියලා කියා තිබුණේ ටෝනි බ්ලෙයාර් සහ බ්ලෙයාර්වාදය කියලා. එදා 1980 දශකය මුල තැචර් එංගලන්තය නව ලිබරල් මාවතේ ගෙන යද්දී ඊට එරෙහි ප්‍රමුඛ විවේචකයා වුණේ, එයට එරෙහිව ජනතාව සමග සටන් කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය. නමුත් පසුව ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය නව ලිබරල් වැඩපිළිවෙල වැළඳ ගත්තා. මාග්‍රට් තැචර් කියන්නේ තමන්ගේ ලොකුම ජයග්‍රහණය තම නව ලිබරල් අදහස් කම්කරු පක්ෂයේ නායකයන්ගේ මුවෙන් කියවා ගැනීමට සමත් වීම බව. දෛවෝපගතව ලංකාවේ එයම සිදුවුණා. ඊයේ ලංකාවේ නව ලිබරල් ධනවාදයේ අනුග්‍රාහකයෙකු සහ අයි.එම්.එෆ්. ඉත්තෙකු වන හර්ෂ ද සිල්වා කියනවා අනුර දිසානායකගේ අයවැය කතාව ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලා. 1978දී එජාප ආණ්ඩුව නව ලිබරල් වැඩපිළිවෙල දියත් කරද්දී එයට එරෙහිව සටන් වැදුණු එහි ප්‍රබලම විවේචකයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ මුවෙන් රනිල්ගේ වැඩපිලිවෙලම කියවා ගැනීමට ලැබීම ඔවුන්ගේ ජයග්‍රහණයක් තමයි. ඒ අතර අද දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා ඇඩ්වකාටා සභාපති මුර්ටාසා ජැෆර්ජි කිව්වා කියලා මේ අයවැය ධනපතියන්ට හිතකාමී අයවැයක්, ඔවුන් ඒ ගැන සතුටු වෙනවා කියලා. ඇඩ්වකාටා කියන්නේ යූ.එස්.ඒඩ් අරමුදල් භාවිතා කරමින් නව ලිබරල් වැඩපිළිවෙල සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වැඩපිළිවෙල මතවාදීව තහවුරු කිරීමට ක්‍රියාත්මක වන සංවිධානයක්. මේ අයවැය ගැන ගුණ ගායනා කරන අයගෙන් අපට සිදුවන දේ වටහා ගන්න පුළුවන්.
සිය අයවැය කතාවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා රනිල්ගේ පාලනය ගැන කියනවා. ඔහු දූෂිතයන් ආරක්ෂා කිරීම, දූෂණය ඉදිරියට ගෙනයාම, ප්‍රජාතන්ත්‍රවාදය හැකිළවීම වගේ බොහෝ කරුණු කියනවා. ඒත් රනිල් වික්‍රමසිංහ අයි.එම්.එෆ්. සමග එක්ව ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කළ විනාශකාරී නව ලිබරල් ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වූ බව කියන්න අමතක වෙනවා. ජනතාව මත බදු බර පැටවූ ආකාරය කියන්න අමතක වෙනවා. අමතක වෙනවා නෙවෙයි, ඔහුට ඒවා කියන්න බෑ. වත්මන් ජනාධිපතිවරයා ඊට වෙනස් දෙයක් මේ අයවැයේදී නොකියන්නේ ඒ නිසා. ඒ වගේම ජනතාව විඳින පීඩාවේ සහ දරිද්‍රතාව ඉහළ යාමේ හේතුව ආර්ථික අර්බුදය බව ඔහු කියනවා. එහෙත් ආර්ථික අර්බුදයට විසඳුම් දෙන මුවාවෙන් අර්බුදයේ බර ධනපතියන්ගේ කර පිටින් ඉවත් කරලා ජනතාව මත පැටවූ ප්‍රතිගාමී වැඩපිළිවෙල විසින් පීඩාව උත්සන්න කළ විදිය කියන්නේ නැහැ. අනුර දිසානායක කියන්නේ දැන් ආර්ථිකය ස්ථාවර වී ඇති බව. ආර්ථිකය ස්ථාවර කළේ ඔහු වෙන්න බෑනේ, මේ ආණ්ඩුවට තවමත් මාස කිහිපයයි. අනුර මේ ප්‍රශස්ති ගයන්නේ රනිල්ට. රනිල්ගේ ජනතා විරෝධී වැඩපිළිවෙලට. අපි අභියෝග කරනවා ආර්ථිකය ස්ථාවර වී ඇත්තේ කෙසේදැයි ඔප්ප්පු කරන ලෙස. ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් ජනාධිපතිවරයා කියන්නේ අසත්‍ය හා එකිනෙකට පරස්පර කරුණු. මුලින් කියනවා රනිල් තරමක් දුර ඇවිත් තිබුණු නිසා එම වැඩපිළිවෙලේම යනවා හැර විකල්පයක් තිබුණේ නෑ කියලා. එය වැරදියි. විකල්ප තිබුණා. ඊට පසු නැවත පරස්පර ලෙස කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හරහා විශාල වාසියක් ලැබුණු බව. එය කරුණක් ලෙසත් වැරදියි, අනෙක මුලින් කියූ දෙයට පරස්පරයි. ඉන් පසුව කියනවා ණය ගත්තානම් ගෙවිය යුතුයි කියලා. ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා දෙයක් නැද්ද? ජාතික ජන බලවේගයමයි මැතිවරණ වේදිකාවල කිව්වේ, ගත්ත ණය රාජපක්ෂලා හොරකම් කරලා, ඒවා ගෙවන්න ජනතාවට බැඳීමක් නෑ කියලා. විකල්ප ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා සාකච්ඡා කරනවා කියලා මැතිවරණ ප්‍රකාශනයේත් ලිව්වා. දැන් වෙන දෙයක් කියනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart