
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සිවුරු කොටස් කාඩ්බෝඩ්වල ඔතා සකස් කර ඇති ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් කතරගම පොලිසිය හා මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු පෙරේදා (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ කතරගම පුදබිමේ සැදැහැවතකු විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමකින් අනතුරුවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටළීම සිදුකර තිබේ. සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පින්කමක් සඳහා අටපිරිකර 150ක සංඛ්‍යාවක් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම ස්ථානයට එම අවස්ථාවේදී පැමිණි තිබේ. උන් වහන්සේලා ද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක්කළහ. මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියෝ මෙසේ පැවසූහ.
“අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්මවලට අයත් වන දෙවැනි පින්කම. ඇතැම් කූට ව්‍යාපාරිකයන් මුදල් ඉපැයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑලි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරීම මහා අපරාධයක්. අටපිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අටපිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන මේ අටපිරිකරට මෙලෙස නිඟා කිරීම දඬුවම් දිය යුතු බරපතළ වරදක්. මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද දවසේ මෙම වැටලීම සිදු කරලා තියෙනවා. සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිල දී ගැනීමට පෙර ඒ පිළිබඳ නිසි අවධානයෙන් පසු වෙන්න කියලා.“
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා, අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමඟ කතරගම පොලිසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart