July 15, 2024

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සඳහන් කර නඩු වාර්තාවක් ලබා දී රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයකු ඊයේ (14 දා) උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කලක් වැලිසර අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරමින් සිටියදී මෙවැනි වැරදි වංචා සිදු කර රැකියාව අහිමි වී සිරගතව සිටි පුද්ගලයෙකි.

තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හඳුන්වා වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සඳහා මෙම කූට ලෙස සකස් කළ නඩු වාර්තාව ලබා දී මෙම මුදල වංචනිකව ලබා ගෙන තිබිණි.

පසුව තම ගුවන් ගමන් තහනම ඉවත් නොවීම සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මුණගැසී සොයා බලා ඇති අතර එහිදී මෙම පුද්ගලයා එම නඩු වාර්තාව කූට ලෙස සකස් කර එයට මහෙස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.

ඉන්පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු කලින් කළ තමන් පදිංචි ප්‍රදේශ මාරු කරමින් පොලිසියට හසු නොවී සිටීමට උත්සාහ දරා තිබේ.

ඔහු අවසන් වශයෙන් හැඳල, වත්තල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිය බිරිඳ සමග සැඟවී සිට ඇති අතර ඊයේ උදෑසන ඔවුන් එම නිවාස සංකීර්ණයෙන් ද පළා යෑම සඳහා සිය බඩු පහත මහලට ගෙනැවිත් සිටියදී මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් දෙදෙනා ඊයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක විජේරත්න, පොලිස් සැරයන් (51214) චන්දන සහ පොලිස් කොස්තාපල් (101987) චතුරංග යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

(දිවයින)