July 10, 2025

නෝර්තන්ට්ස් ස්ටීල්බැක්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ෆිල් සෝල්ට් භාවිත කළ පිත්ත ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය (ACU) විසින් සිකුරාදා සවස අනුමත කර ඇති බව ලැන්කෂයර් ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Vitality Blast තරඟාවලිය අතරතුර ඔහුගේ පිත්ත පිටියේ පිත්ත-මාන පරීක්ෂණයේදී අසාර්ථක වීමෙන් පසු, සෝල්ට් එංගලන්ත ක්‍රිකට් මණ්ඩල නියෝග 3.2 සහ 3.3 උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.

එය ඔහු පසුගිය වසර දෙක තුළ එංගලන්තය, ලැන්කෂයර් සහ IPL සඳහා කිසිදු ගැටළුවක් නොමැතිව භාවිත කළ පිත්තකි.

ලැන්කෂයර් ලයිට්නින් හි ලකුණු හඹා යෑමේ පළමු ඕවරයේදී, විනිසුරුවරයකු විසින් පිත්තක ප්‍රමාණයන් පරීක්ෂා කිරීම සඳහා සිදු කරන ලද සහතික කිරීමේ ක්‍රියාවලියක පියවරක් ලෙස, පිටියේ පිත්ත මාපක පරීක්ෂණයක් පවත්වන ලදී.

පරීක්ෂණය සමත් වීමට, පිත්ත නිශ්චිත ප්‍රමාණයේ මිනුමක් හරහා ගැළපිය යුතුය.

සෝල්ට්ගේ පිත්ත පිටියේදී මාපකය හරහා ගමන් නොකළ අතර එම නිසා පරීක්ෂණය අසාර්ථක වූ බව සළකනු ලැබිණි.

තරඟයෙන් පසුව සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී, පිත්ත කිහිප වතාවක් මාපකය හරහා ගැළපී තිබිණි.

ඒ අනුව එම ගැටලුව අවසන් බව ක්‍රීඩා සමාජය සහ ක්‍රීඩකයා සිතා සිටිය ද පිත්ත තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා රැගෙන යෑම අවශ්‍ය බවට නිලධාරීන් තීරණය කර තිබිණි.

ක්‍රිකට් නියාමකයා විසින් සිදු කරන ලද සාක්ෂි පරීක්ෂණ ක්‍රියාවලියෙන් පසුව, පිත්ත රෙගුලාසිවලට අනුකූල බව සොයා ගෙන තිබේ.

ඒ අනුව ක්‍රීඩා සමාජයට සහ ක්‍රීඩකයාට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වා ඇත.

කෙසේවෙතත් මෙම තහවුරු කිරීමට පෙර තරඟ විචාරකයන් විසින් නුසුදුසු අදහස් දැක්වීම් සහ ක්‍රීඩකයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කරන ලද සමහර අප්‍රසන්න සටහන් දැකගත හැකිව තිබිණි.