August 30, 2026

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි බල ක්ෂේත්‍රයට සහනදායී පදනමක් යටතේ ඉන්ධන සැපයීම නතර කිරීම සහ නැප්තා හා HFO තෙල් මිල ගණන් 20% කින් පමණ ඉහළ නැංවීම හේතුවෙන් විදුලි ගාස්තු නැවතත් ඉහළ යෑමේ අවදානමක් මතුව තිබේ.

විදුලි ගාස්තු ස්ථාවරව තබා ගැනීම සඳහා 2026 අප්‍රේල් 18 වන දින ඇති කරගත් තෙමසක ස්ථාවර මිල ගිවිසුමේ කාලසීමාව අවසන් වූ බව ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන ජාතික පද්ධති මෙහෙයුම්කරු වෙත දැනුම් දී ඇත.

මෙම තීරණයත් සමඟ HFO ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 248 දක්වාත්, නැප්තා ලීටරයක මිල රුපියල් 174 සිට රුපියල් 210 දක්වාත් ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ Sunday Times වෙත පවසා ඇත.

මෙම ඉන්ධන අතරින් නැප්තා, කැලණිතිස්ස මෙගාවොට් 165ක ධාරිතාවයෙන් යුත් විදුලි බලගාරය සඳහා භාවිත වන අතර, HFO ඉන්ධන මෙගාවොට් 60ක විදුලි බලගාරය, මෙගාවොට් 160ක සපුගස්කන්ද විදුලි බලගාරය සහ කෙරවලපිටිය යුගදනවි විදුලි බලගාරය සඳහා භාවිත කරනු ලබයි.