May 21, 2026

ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහි එන්නතක් සූදානම් වීමට මාස නවයක් දක්වා කාලයක් ගතවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි Bundibugyo ප්‍රභේදයට එරෙහිව භාවිත කළ හැකි යැයි අපේක්ෂිත එන්නත් දෙකක් මේ වන විට නිපදවමින් පවතින නමුත්, ඒවායින් කිසිවක් තවමත් සායනික පරීක්ෂණවලට භාජනය කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් ගෙබ්‍රෙයෙසස් කියා සිටියේ ඉබෝලා වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගීන් 600 ක් සහ ඒ ආශ්‍රිත සැකකටයුතු මරණ 139 ක් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, වෛරසය හඳුනා ගැනීමට ගතවන කාලය සැලකිල්ලට ගෙන මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ, පළමු රෝගියා වාර්තා වූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් රෝගීන් 51 ක් සහ අසල්වැසි උගන්ඩාවෙන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

පසුගිය ඉරිදා දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළද, එය ගෝලීය වසංගත මට්ටමක නොමැති බව සඳහන් කළේය.

කොංගෝවෙන් හඳුනාගත් රෝගීන් 51 දෙනා වාර්තා වන්නේ මෙම වසංගතයේ කේන්ද්‍රස්ථානය වන එරට නැගෙනහිර ඉටුරි ප්‍රාන්තයෙන් සහ උතුරු කිවු ප්‍රාන්තයෙනි.

උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නුවරින් වාර්තා වූ ආසාදිතයන් දෙදෙනාම කොංගෝවේ සිට පැමිණි අය වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු මේ වන විට මියගොස් ඇත.