July 16, 2024

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් නියම කළ සියලු වන්දි මුදල් ලබන අගෝස්තු මස 30 වැනිදාට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නියම කළේය.

එදිනට පෙර එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම් අදාළ නඩු තීන්දුව අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර ඔවුන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියම කරන ලදී.

එසේම අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස කර ඇති නියෝගය අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියම කළ අතර එම කටයුතු කඩිනමින් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද විනය පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රගතිය සැප්තැම්බර් මස 20 වැනිදා මෝසමක් මඟින් අධිකරණය හමුවේ ඉදිරි කරන ලෙස ද නීතිපතිවරයාට නියම කරන ලදී.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් සම්බන්ධයෙන් වන තීන්දුව ලබාදෙමින් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියම කරන ලද වන්දි ගෙවීම් සිදුකර තිබේද යන්න සළකා බැලීම සඳහා අදාළ පෙත්සම් සහ ඊට අදාළව ගොනුකර ඇති මෝසම් කැඳවූ අවස්ථාවේදී මේ නියෝග සිදුකෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස් ,කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න,අචල වෙන්ගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.

මේ පෙත්සම්වලට අදාළව දෙන ලද නඩු තීන්දුව මඟින් නියෝග කර ඇති වන්දි මුදල් ගෙවීමට වගඋත්තරකරුවන් මේ වන විට කටයුතු කර තිබේ ද යන්න විනිසුරු මඬුල්ල මෙහිදී විමසා සිටියේය.

එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය සඳහන් කළේ සිය සේවාදායකයාට ගෙවීමට නියම කළ වන්දි මුදල් මේ වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාමාල් කොල්ලුරේ සඳහන් කළේ සිය සේවාදායකයා මේ වන විට ඔහුට නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදලින් රුපියල් මිලියන 1.9ක් ගෙවා අවසන් කර ඇති බවය.ඉකුත් වසරේ ජූනි මස 28 වැනිදා මේ ගෙවීම් කරන ලද බව ඒ සඳහන් කළේය.මෙහිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ ඉතිරි මුදල ගෙවීමට ඔහු අද වන තෙක් යම් තරමක හෝ උත්සාහයක් ගෙන නැති බවය.

විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී ප්‍රකාශ කළේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශය අනුව නිශ්චල දේපළ තිහක් පමණ හිටපු පොලිස්පතිවරයා සතුව ඇති බවය. එසේම මිලියන 14ක ස්ථාවර තැන්පතු ඔහුගේ නමින් ඇති බව ද පෙන්වාදුන් විනිසුරු තුරෙයිරාජා මහතා, එම ස්ථාවර තැන්පතු හෝ දේපළ අලෙවි කර අදාළ වන්දි මුදල් ගෙවීමට ඔහු කටයුතු නොකළේ මන්දැයි නීතීඥවරයාගෙන් විමසා සිටියේය. එහිදී නීතිඥවරයා සඳහන් කළේ සිය සේවා දායකයා සතු නිශ්චල දේපළ බහුතරයක් පාරම්පරිකව උරුම වූ කුඹුරු ඉඩම් බවය.ඒවා ඉහළ මිලකට අලෙවි කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය. ගෙවුණු වසරක කාලයේ ඒ සඳහා යම් උත්සාහයක් හෝ ඔහු විසින් ගෙන නැති බව විනිසුරු එස්. තුරෙයිරාජා එහිදී අවධානයට ලක්කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ වන්දි මුදල් ගෙවීමට කටයුතු කර තිබේ ද යන්න විනිසුරු මඬුල්ල මෙහිදී විමසා සිටියේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ සිය සේවාදායකයාට ගෙවීමට නියම වූ මිලියන සියයක මුදලින් රුපියල් මිලියන 58ක් මේ වන විට ගෙවා ඇති බවය.

ඉතිරි රුපියල් මිලියන හතළිස් අට සමාන වාරික මඟින් ගෙවීම සඳහා වසර හයක කාලයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් එහිදී පෙනීසිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වත්කම් වාර්තාව අනුව ස්වර්ණභූමි ඔප්පු යටතේ ලබාගත් දේපළ 10ක් පවතින බවය. ඒ අතරින් පහක්ම නිවාස සහිත දේපළ බවද ඒ සියල්ල ඔහු ජනාධිපති ලෙස පත්වීමෙන් පසු ලබාගත් ඒවා බවද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. ඊට අමතරව ඔහුට අයත් දේපළ පහක් ඇති බව ඔහු සඳහන් කළේය.

මේ ස්වර්ණභූමි දේපළ ලබා ගැනීම දූෂිත කටයුත්තක් බවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ජනාධිපති ධූරයේ සිටියදීම එකම පුද්ගලයකු දේපළ මෙපමණ සංඛ්‍යාවක් ලබා ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙහිදී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන සියලු ආදායම මඟින් අදාළ වන්දි මුදල් ගෙවූ බවය.

වත්කම් ප්‍රකාශ කිරීමේදී වසරක් පාසා එකම දේපළ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.ඉතිරි මුදල ගෙවීම සඳහා කල් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා තමන්ට ගෙවීමට නියම වූ සියලුම මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔහුගේ නීතීඥවරයා සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ සිය සේවාදායකයා මේ වට විට රුපියල් මිලියන 4.1ක් ගෙවීමට කටයුතු කර ඇති බවය.

ඔහු දැනට සිටින නිවස පාරම්පරිකව උරුම වූවක් වන අතර ඉතිරි වන්දි මුදල ගෙවීමට බැංකු ණය මුදලක් ලබාගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. ඔහුට වාර්ෂිකව මිලියන හයක් පමණ ලැබෙන බවද ඊට අමතරව මිලියන තුනක ස්ථාවර තැන්පතු ඇති බව ද එහිදී සඳහන් කෙරිණ.

මෙහිදි පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ අධිකරණය විසින් දෙන ලද නියෝගය අනුව කටයුතු නොකර දිගින් දිගටම කල් ලබා ගැනීමට වගඋත්තරකරුවන් කරන උත්සාහයට ඉඩ දිය යුතු නැති බවය. හිටපු ජනාධිපතිවරයා මේ වන්දි මුදල් ගෙවීමට සැබෑ උත්සාහයක් කර නැති බව ඒ මහතා සඳහන් කළේය. එබැවින් තවදුරටත් කල් ලබා නොදී සුදුසු නියෝගයක් දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබූ මාස හයක කාලය අවසන් වීමට පෙර ඒ සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් ගොනුකර තිබිණි.(දිනමිණ)