October 12, 2025

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට පැමිණි ප්‍රහා­ර­ක­යන්ගේ එක් සැල­සු­මක් හෝ අසා­ර්ථක වුවහොත් ඔවුන්ට යෑමට ස්ථාන­යක් සහ එම ස්ථාන­යේදී සම්බන්ධ වන පුද්ග­ල­යකු පිළි­බඳ ප්‍රහා­ර­ක­යන්ට මූලික තොර­තුරු දී තිබූ බව විම­ර්ශන අංශ මඟින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

මේ පිළි­බඳ මුලින්ම කරුණු අනා­ව­ර­ණය වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කළ ජනා­ධි­පති කොමි­ස­මේ­දීය. එම කොමි­ස­මේදී සාක්ෂි දෙන අතර, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වර්ත­මාන ලේකම් රවී සෙනෙ­වි­ර­ත්න­ගෙන් ප්‍රශ්න කර තිබුණේ ප්‍රහා­ර­ක­යන්ගේ යම් ඉල­ක්ක­යක් අසා­ර්ථක වුව හොත්, ඔවුන් කළ යුත්තේ කුම­ක්දැයි දැනුම් දී තිබුණු බවක් විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය වී තිබේද යනු­වෙනි. ඊට පිළි­තුරු දෙමින් ඔහු පවසා තිබුණේ එවැනි අසා­ර්ථක වීමක් සිදුවුව හොත්, නිශ්චිත ආර­ක්ෂක ස්ථාන­ය­කට පැමි­ණෙන ලෙස දැනුම් දී තිබූ බවට තොර­තුරු ඇති බවයි. ඉන් පසු නිශ්චිත පුද්ග­ල­යකු එම ස්ථාන­යට පැමි­ණෙන බවට දැනු­ම්වත් කර තිබු­ණේ­ යැ­යිද කොමි­ස­මේදී පවසා තිබූ හෙතෙම, කොළ­යක ලියා එම නිශ්චිත පුද්ග­ල­යාගේ නම කොමි­ස­මට දී තිබිණි.

රවී සෙනෙ­වි­රත්න පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කළ ජනා­ධි­පති කොමි­ස­මට පිටු 163ක සාක්ෂි දී තිබේ. මේ සාක්ෂි විම­සීම අත­ර­තුර නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් සාක්ෂි මෙහෙ­යවූ රජයේ නීතිඥ සංජීව දිසා­නා­යක ඔහු­ගෙන් ප්‍රශ්න කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහා­ර­ක­යන්ට අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­න­යෙන් සහාය ලැබී ඇත්ද යනු­වෙනි. ඊට පිළි­තුරු දෙමින් රවී සෙනෙ­වි­රත්න පවසා තිබුණේ ප්‍රහා­ර­ක­යන් ගනු­දෙනු කළ බැංකු ගිණුම් 41ක් සම්බන්ධ තොර­තුරු ලැබී ඇති බවත්, එම බැංකු ගිණුම් සියල්ල ලංකාවේ ඒවා බවත්, ඒවාට මුදල් ලැබී ඇත්තේ ලංකා­වෙන්ම බවත්ය.

මේ අතර රජයේ නීති­ඥ­ව­රයා කොළ­යක නමක් ලියා රවී සෙනෙ­වි­ර­ත්නට දී විමසා තිබුණේ මේ නම සහ සහ­රාන් අතර සම්බ­න්ධ­යක් අනා­ව­ර­ණය වී ඇද්ද යනු­වෙනි. එහිදී සෙනෙ­වි­රත්න පිළි­තුරු දී තිබුණේ මෙවැනි කරු­ණක් වාර්තා වූ බවත්, එම නම අස­ල්වාසි රටක සංවි­ධා­න­ය­කට සම්බන්ධ බවක් පෙනු­ණත්, එය තහ­වුරු වී නැති බවත්ය.

2019 දෙසැ­ම්බර් 31 දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න පොලිස් සේව­යෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් පසු මේ කරුණු පිළි­බඳ විම­ර්ශන සිදුවුවද, ඒවා අත­ර­මග ඇන­හිට ඇත. ඊට හේතු වී ඇත්තේ 2019 නොවැ­ම්බ­ර­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත්වීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශන සිදු කළ එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර ප්‍රමුඛ සියලු විම­ර්ශ­ක­යන් වෙනත් රාජ­කාරි සඳහා යෙද­වී­මය.

මේ වන විට යළිත් අදාළ විම­ර්ශන වේග­වත් කර ඇති අතර, එම විම­ර්ශ­න­ව­ලදී රවී සෙනෙ­වි­රත්න විසින් සිදුකළ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් වැද­ගත් කරුණු රැසක්ද අනා­ව­ර­ණය වී ඇතැයි වාර්තා වේ. අදාළ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් 25 දෙන­කුට එරෙ­හිව එක් නඩු­වක් පම­ණක් දැනට විභාග වන අතර, ඊට අම­ත­රව වෙනත් කරුණු සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී තවත් නඩු කිහි­ප­යක් පැව­රී­මට නිය­මිත බවද වැඩි­දු­ර­ටත් හෙළි වේ. වාර්තා වන ආකා­ර­යට ඒ අතර එක් නඩු­වක් වන්නේ අදාළ තොර­තුරු පිළි­බඳ විම­ර්ශන හිතා­මතා ප්‍රමාද කිරී­ම­ටත්, වෙන­තක යැවී­ම­ටත් උත්සාහ කිරී­මක් පිළිබඳවය.(සිළුමිණ)