October 12, 2025

රට පුරා ළමා අපයෝජන පැමිණිලි හැසිරවීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇති ප්‍රමාදයන් සහ අඩුපාඩු සම්බන්ධයෙන් මෑතකදී කරන ලද විගණනයකින් හෙළි වී තිබේ.

2011 වසරේ සිට වාර්තාව නිකුත් කළ දිනය දක්වා ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 123,732ක් ලැබී ඇති බවත්, ඉන් පැමිණිලි 52,922ක් හෙවත් 43%ක් තවමත් විමර්ශනය වෙමින් පවතින බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.

බලපෑමට ලක් වූ දරුවන් වැඩිහිටිභාවයට පත්වීමට පෙර පරීක්ෂණ අවසන් කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කිරීමට අධිකාරිය අපොහොසත් වී ඇති බව විගණකවරු සඳහන් කළහ.

ළමා අපයෝජන නඩු විසඳීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන් අතර පුරප්පාඩු සංඛ්‍යාව ඉහළ යෑම සහ අධිකාරිය තුළ නිසි වැළැක්වීමේ යාන්ත්‍රණයක් නොමැති වීම නොවිසඳුණු පැමිණිලි වැඩි වීමට හේතු වී තිබේ.

ප්‍රතිචාර වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විගණකවරුන්ට දැනුම් දී ඇත්තේ, 2011 සිට 2023 දක්වා ලැබුණු සියලුම පැමිණිලි සඳහා මූලික මැදිහත්වීමක් ලබා දී ඇති අතර 2011 වසරට අදාළ සියලුම පැමිණිලි දත්ත සමුදාය යාවත්කාලීන කර අවසන් කර ඇති බවයි.

කෙසේවෙතත්, 2012 වසරේ සිට ලැබුණු පැමිණිලි තවමත් විමර්ශනයට ලක්වෙමින් පවතින අතර, එමඟින් අඛණ්ඩ නඩු විසඳීමේ ප්‍රමාදයන් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකා පොලිසිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා අපයෝජන සඳහා වගකිව යුතු අදාළ රේඛීය අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය සඳහා අධිකාරිය විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොමැති බව විගණනයෙන් තවදුරටත් අවධාරණය කෙරිණි.

මෙම පරතරය නිසා දිවයින පුරා ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව තහවුරු කර ගැනීමට හෝ එම පැමිණිලිවල ප්‍රගතිය ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නොහැකි වී තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, පවතින දත්ත සමුදාය ජාතික මට්ටමේ පද්ධතියකට යොමු කිරීමට උත්සාහ කරමින් සිටින නමුත්, ගිවිසුම් අත්සන් කිරීම සහ මෙම ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලබා ගැනීම අභියෝගාත්මක වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේය.

පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටුවීම සඳහා 2021 දී කැබිනට් අනුමැතිය ලබා දී තිබියදීත්, වාර්තාවේ දිනය වන විට පළාත් හතක කිසිදු ප්‍රගතියක් ලබාගෙන නොමැති බව ද වාර්තාවෙන් හෙළි විය.

2013 දී පිහිටුවන ලද දකුණු පළාත් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය, තාක්ෂණික උපකරණවල අඩුපාඩු හේතුවෙන් 2015 සිට අක්‍රියව පවතින අතර, ප්‍රතිස්ථාපන පිරිවැය රු. 7,760,500ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මීට අමතරව, ළමා වින්දිතයන් සඳහා ආරක්ෂිත නිවාස නඩත්තු කිරීමට අධිකාරිය අපොහොසත් වී ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මාර්ගෝපදේශවල 2.5 වගන්තිය යටතේ අවශ්‍ය නවාතැන් පහසුකම් ප්‍රතික්ෂේප කර ඇත.

රෙකෝඩර නොමැතිකම සහ අනෙකුත් තාක්ෂණික අවශ්‍යතා හේතුවෙන් දකුණු පළාත් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය දැනට ක්‍රියාත්මක විය නොහැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැහැදිලි කළේය.

2022 පෙබරවාරි මාසයේදී කරාපිටිය ඒකකය සඳහා බඳවා ගන්නා ලද නිලධාරීන් තාවකාලිකව ප්‍රධාන කාර්යාලයට යොදවා ඇති අතර, පළාත් ඒකකයේ මෙහෙයුම් තවමත් ආරම්භ කර නොමැත.