August 14, 2026

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘ෂිරාන් බාසික්’ ඇතුළු තිදෙනකු අද (නොවැම්බර් 27) රාත්‍රියේ දිවයිනට ගෙනැවිත් තිබේ.

දෙහියවල – කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 48 හැවිරිදි ෂිරාන් බාසික් නැමැත්තා ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර සිටි අයෙකි.

මෑතකදී ඇතිවූ ඉරාන – ඇමෙරිකානු උණුසුම්කාරී වාතාවරණය අතරතුර ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කරන ලද ප්‍රහාරයන්හිදී භාවිත කළ ඩ්‍රෝන සහ මිසයිල පිළිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන මොහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවීමත් සමග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන සඳහා මොහුව තමන් වෙත භාරදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින්ද එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබූ බව වාර්තා වේ.

2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇති ෂිරාන් බාසික්, අබුඩාබි සිට පැමිණි ‘AirArabia 3L708’ දරන ගුවන් යානයෙන් රාත්‍රී 8.48 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත.

ඔහු දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය මගින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක වළල්ලක් යටතේ මොහුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යෑමට නියමිතව ඇත.