September 1, 2025

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය විසින් රුපියල් මිලියන 200ක් වැයකර රුපියල් බිලියන 2ක් වටිනා ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකර තිබෙන බව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ පැවසීය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීම ආරම්භ කළ බවත් 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO) 22 වැනි සංවත්සරයේදී වෛද්‍ය කුමාර් වීරසේකර සමාරම්භක දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO) 22 වැනි සංවත්සරයට සමගාමීව අධ්‍යයන සැසිමාලාව පසුගිය 22 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනය විසින් මෙවර වෛද්‍ය කුමාර් වීරසේකර දේශනය සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ (BMTU) සාර්ථකත්වය හඳුනා ගෙන තිබිණි.

ඒ අනුව ‘ජීවිතයේ දෙවන අවස්ථාවක්: ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’ මැයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මෙම දේශනය පවත්වනු ලැබීය.

මෙම ඒකකය ස්ථාපිත කිරීමට පෙර රුපියල් ලක්ෂ 80-100ක් වැනි විශාල මුදලක් වැයකර විදෙස් රටකට යාම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත්, ඇටමිදුළු බද්ධ කිරීමේ පහසුකම නොමිලයේ රජයේ රෝහලකින් සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බවත් සිය දේශනය පවත්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ප්‍රකාශ කළේය.

2016 වසර අවසානයේ සිට 2025 වසරේ මැද භාගය වනවිට රුපියල් මිලියන 200ක් වැයකර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු සැත්කම් මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකර තිබෙන බවද, 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් සිදුකර ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ මුහුණදුන් ඉන්ධන හිඟය, ඖෂධ හිඟය පවා නොතකා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අඛණ්ඩව එම කටයුතු සිදුකළ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ , මේ වන විට දායක ඇටමිදුළු බද්ධය (allogeneic stem cell transplant) ද ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව සිව්වන දායක ඇටමිදුළු බද්ධය සිදුකිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

2023 වසරේදී 49 ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදුකළද, විවිධ හේතූන් මත 2024 දී එම ප්‍රමාණයට ළඟාවීමට නොහැකි වූ බව පෙන්වාදුන් වෛද්‍යවරයා, ඇටමිදුළු බද්ධය සඳහා වන පොරොත්තු ලේඛනය මේ වන විට 2027 ජනවාරි මාසයය දක්වා දීර්ඝ වී ඇති බව අනාවරණය කළේය.

ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය (BMTU) සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයක් නොමැති වීම මෙම ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට සෘජුවම බලපාන සාධකයක් බව සඳහන් කළේය.

විශේෂයෙන් මේ වන විට එම ඒකකයට අනුයුක්තව ඇත්තේ ඊට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

පුහුණුව ලත් වෛද්‍යවරු සාමාන්‍ය මාරුවීම් පටිපාටිය යටතේ ස්ථාන මාරු ලැබීමත්, පත්ව එන වෛද්‍යවරු නැවත පුහුණු කිරීමත් නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන ගැටළු වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඇටමිදුළු ගබඩා කරන බෑග් සහ Dimethyl Sulfoxide (DMSO) හිගය, දායක ඇටමිදුළු බද්ධය සඳහා ගැලපෙන පරිත්‍යාගශීලීන් නොමැතිවීමද මුහුණදීමට සිදු වී ඇති ප්‍රධාන ගැටළු අතර වන බව වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ පෙන්වා දුන්නේය.

එසේම මිළ අධික අත්‍යවශ්‍ය කිමෝතෙරපි ඖෂධ රජය හරහා නොලැබෙන බැවින් පරිත්‍යාගශීලීන් හරහා ඒවා ලබා ගැනීමේ කාර්යයද තමන් ඇතුළු කණ්ඩායමට පැවරී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම අපහසුතා නොවන්නට අවම වශයෙන් වසරකට ඇට මිදුළු බද්ධ කිරීම් 55ක් පමණ සිදුකිරීමට හැකියාව පවතින බවත්, එසේ වුවහොත් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින සමහර රෝගීන්ට අවාසනාවන්ත ලෙස මියයෑමට සිදුනොවන බවත් හෙතෙම අවධාරණය කළේය.