July 15, 2024

ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන ධම්මික පෙරේරාට අයත් සුපිරි හෝටල් දෙකක් ලබන වසර අගදී විවෘත කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Vallibel One PLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Greener Water Limited හි සභාපතිවරයා වන ධම්මික පෙරේරා සහ Summer Season Ltd හි සභාපති මොහාන් පණ්ඩිතගේ ගෝලීය සුඛෝපභෝගී සන්නාමයන් වන JW Marriott සහ Ritz Carlton ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා 2020 පෙබරවාරි මාසයේදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබිණි.

එම අත්සන් කිරීමේ උත්සවය සඳහා Marriott International හි ආසියා පැසිෆික් සභාපති රජීව් මෙනන් සහ එහි කලාපීය උප සභාපති සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානියා වන කිරන් ඇන්ඩිකොට් දිවයිනට පැමිණ තිබිණි.

සුඛෝපභෝගී කාමර 500කින් යුත් තරු පහේ JW Marriott හෝටලය මීගමුවේදී 2021 වසරේ සිව්වැනි කාර්තුවේ දී දියත් කිරීමට නියමිතව තිබිණි.

කාමර 228කින් යුතුව Ritz Carlton හෝටලය 2022 වසරේ තුන්වැනි කාර්තුවේදී මිරිස්ස ප්‍රදේශ දියත් කිරීමට නියමිතව පැවති නමුත් පසුගිය වසර කිහිපය තුළ අත්විඳින ලද ආර්ථික පසුබෑම හේතුවෙන් ඉදිකිරීම්වලට බලපෑම් එල්ල විය.

දැන් එම කටයුතු යළි පනගන්වා ඇති අතර ලබන වසර අවසන් වන විට හෝටල් දෙක නිම කිරීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම හෝටල් දෙක මගින් අවම වශයෙන් රැකියා 1500ක් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.