July 23, 2024

කොවිඩ්-19හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මළසිරුරු ආදාහනය කිරීම අනිවාර්ය කරන ලදී.

මෙම තීරණය විවිධ ආගමික කණ්ඩායම්වල සහ මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් ආගම අදහන තැනැත්තන්ගේ කනස්සල්ලට හේතු විය.

ඒ සම්බන්ධයෙන් පසුව සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව කොවිඩ් වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී තිබේ.

එබැවින්, ඉදිරියේදී එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම පිණිස යම් තැනැත්තෙකුට හෝ ඥාතියෙකුට සිය අභිමතය පරිදි මියගිය තැනැත්තාගේ භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීම හෝ තෝරාගැනීමට ඉඩ සලසන නීතියක් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

එසේම, අවශ්‍ය නම් වෛද්‍ය පීඨවලට සිරුරු පරිත්‍යාග කිරීම සඳහා අදාළ නීති හඳුන්වාදීම යෝග්‍ය බව ද පෙනීගොස් ඇත.

ඒ අනුව, නව නීතියක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.