October 22, 2026

තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා සහ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින්, තම පද්ධති කිසිදු ලෙසකින් හැකර්වරුන් යටතේ නොමැති බව ශ්‍රීලංකන් ගුවන් සේවය තහවුරු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කරන්නේ, 2026 ජූනි 29 වැනි දින බාහිරව පළවූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ පුවතක් පදනම් කරගනිමින් මෙම චෝදනා එල්ල වී ඇති බවයි.

එම පුවත පිළිබඳව දැනුවත් වූ වහාම, ගුවන් සමාගම ක්ෂණික පරීක්ෂණ, තාක්ෂණික ඇගයීම් සහ පූර්වාරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇත.

එම පරීක්ෂණ සොයාගැනීම්වලට අනුව, සමාගමේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතියට හෝ මෙහෙයුම් පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වීමක්, තොරතුරු දත්ත සොරාගැනීමක් (unauthorised data extraction) හෝ සේවාවන්ට බාධා සිදුවීමක් සිදුව නොමැති බව තහවුරු වී තිබේ.

විද්‍යුත් තැපෑල (Email) ඇතුළු සමාගමේ සියලුම පද්ධති සහ සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කටයුතුවලට ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම අදාළ පාර්ශ්වය විසින් බිට්කොයින් (Bitcoin), ඇමරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කප්පම් ඉල්ලීමක් සිදුකර නොමැති බවත්, එවැනි කප්පම් ලබාදීමේ සාකච්ඡා කිසිවක් සිදුව නොමැති බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය තහවුරු කරයි.

එබැවින් තම පද්ධති හැකර්වරුන් විසින් පාලනය කරනු ලබන බවට කෙරෙන චෝදනා ශ්‍රීලංකන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

තම තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, මගීන්, සේවකයන් සහ ව්‍යාපාරික පාර්ශ්වයන් වෙනුවෙන් විශ්වාසනීය සේවාවක් අඛණ්ඩව ලබාදීමටත් කැපවී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය නැවතත් අවධාරණය කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට වූ පුවතක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියට පත්කර තිබිණි.