August 14, 2026

තමන්ගේම ලෙයින් උපන් අවුරුදු 10යි මාස 8ක් වයසැති පුංචි දියණියකට ලිංගික අපයෝජනයක් සිදුකළ බවට ඇයගේම පියාට සහ සීයාට එරෙහිව බරපතල පැමිණිලි දෙකක් ලැබී ඇති බව අම්බලන්තොට පොලිසිය වාර්තා කරයි.

ආච්චි අම්මා සමඟ අම්බලන්තොට පොලිසියට පැමිණි මෙම පුංචි දැරිය කළ ප්‍රකාශයත් සමඟම පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබේ.

ලැබී ඇති පළමු පැමිණිල්ලට අනුව, දැරියගේ සීයා විසින් අවස්ථා කිහිපයකදීම ඇයව මෙලෙස අපයෝජනයට ලක්කර ඇති අතර, “මේ ගැන කාට හරි කිව්වොත් මරනවා” යැයි කියමින් පුංචි දැරියව බියගන්වා නිහඬ කරගෙන සිට ඇතැයි පැවැසේ.

දෙවැනි පැමිණිල්ලෙන් හෙළි වී ඇත්තේ රැකවරණය දිය යුතු පියා පවා අවස්ථා ගණනාවකදී තමන්ගේම දියණියට මෙලෙස අතවර කර ඇති බවයි.

ඔහුද මෙම ක්‍රියාවන් කාටවත් නොකියන ලෙස දැරියට තර්ජනය කර තිබේ.

මෙම සිදුවීම අනාවරණය වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.

පාසල් ක්‍රීඩා කටයුත්තක් සඳහා ගාල්ලට ගිය මෙම දැරිය, අනතුරුව මිරිස්ස ප්‍රදේශයේ සිටින සිය ආච්චිගේ නිවසට ගොස් තිබේ.

එහිදී දැරිය තමන් මුහුණදුන් මෙම අත්දැකීම ආච්චි සහ ඥාතියකු හමුවේ පවසා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ඔවුන් දැරියව අම්බලන්තොට පොලිසිය වෙත කැඳවාගෙන ගොස් ඇත.

ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව දැරියව වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර සීයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගියද ඔහු ප්‍රදේශයෙන් මගහැර ගොස් සිට ඇති අතර, සැකකාර පියා මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බැවින් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය මගින් වෙන වෙනම පරීක්ෂණ පවත්වන අතර, මගහැර සිටින සැකකරුවන් දෙදෙනා කොටුකර ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.