May 20, 2025

කොළඹ දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ ඇති කරගත් ගිවිසුමකට අනුව, ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් අද (20) අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණය, අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ අධිකරණ අපහාස චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ද උපදෙස් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම්වලින් පසුව මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.

නොමඟ යවන සහ නීත්‍යානුකූලව දෝෂ සහිත නියෝජනයන් මත පදනම්ව පෙත්සම්කරු අපහාසය පිළිබඳව කරුණු දක්වා ඇති බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් ධර්මවර්ධන තර්ක කළේය.

පෙර නඩු විභාගයකදී, අතිරේක සොලිසිටර් ජෙනරාල් ධර්මවර්ධන අධිකරණයට දැනුම්දුන්නේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කමිටුව පත්කිරීමට පොරොන්දුවක් ලබා දී ඇති බවත්, මෙම පොරොන්දුව නිසි ලෙස ඉටුකර ඇති බවත්ය.

මෙම කරුණු උපුටා දක්වමින්, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ, හිතාමතාම අධිකරණ නියෝගවලට අනුකූල නොවීමක් හෝ නොසළකා හැරීමක් සිදුනොවූ බව පවසමිනි.

ඉදිරිපත් කිරීම් සමාලෝචනය කිරීමෙන් පසු, අභියාචනාධිකරණය නිගමනය කළේ අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඉදිරියට ගෙනයෑමට කිසිදු පදනමක් නොමැති බවත්, එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරණ බවත්ය.

නඩුවට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

මුල් පෙත්සම ක්‍රීඩා සංගම් කණ්ඩායමක් විසින් ගොනුකර ඇති අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙනීසිටියේය.