April 30, 2025

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

කෙසේවෙතත්, තමන් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් වළක්වා වැඩතහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා තමන් එම ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් මැක්ස්වෙල් ද සිල්වා ගොනුකළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව, පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ජුනි 12 වැනිදා ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, එම විරෝධතාවලට ජූලි 14 වැනිදා ප්‍රතිචාර දක්වන ලෙස පෙත්සම්කරුට නියම කළේය.

එමෙන්ම අභියාචනාධිකරණය මීළඟ පෙත්සම් විභාගය සැප්තැම්බර් 4 වැනි දිනට කල්තබා ඇත.

අදාළ පෙත්සමෙන් පෙත්සම්කරු පවසන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමාගේ වැඩතහනම් කිරීමට තීරණය කර ඇති බව සහ බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් ගත් එම තීරණය නීතිවිරෝධී බවයි.

එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත්, එබැවින් එම තීරණයට නීතිමය පදනමක් නොමැති බවත් සිය පෙත්සම මගින් ඔහු කියාසිටි‍යි.

ඒ අනුව එම තීන්දුව බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.