June 19, 2025

ආන්දෝලනයකට තුඩුදී තිබෙන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

කෙසේවෙතත් එම නෞකාව මෙරට මුහුදු සිමාවේ පර්යේෂණ කටයුතු සිදුනොකරන බවද Ceylonwire කළ විමසීමකදී ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පැවැත්වෙන බව‍යි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීමට කමිටුවක් මීට දින කිහිපයකට පෙර පත්කර ඇති බවත් එම ප්‍රකාශකයා පවසා තිබේ.

ඒ අනුව කමිටුවේ පළමු රැස්වීම ඉතා ඉක්මණින් කැඳවනු ඇතැයි පැවසේ.

විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා පනවා තිබූ වසරක තහනම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් විය.

ඉන් අනතුරුව පවතින මෙහෙයුම් පටිපාටිය සමාලෝචනය කිරීමට සහ විදේශීය විද්‍යාත්මක දූත මණ්ඩලවලට පහසුකම් සැලසීම සඳහා සංශෝධිත රාමුවක් සකස් කිරීමට නව කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය ජනවාරි මාසයේදී තීරණය කර තිබිණි.

කෙසේවෙතත් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 10ක් අහිමිවනු ඇති බවයි.