May 25, 2025

මෙරට චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සැළකිලිමත් වන ලෙස එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට සංචාරක උපදේශන යාවත්කාලීන කර තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරකයන් මුහුණ දෙන ‘සෞඛ්‍ය අවදානමක්’ ලෙස චිකුන්ගුන්යා රෝගය ඇතුළත් කර ඇත.

ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයන්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහිව පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ද අනතුරු ඇඟවීය.

ඔවුන්ගේ 02 වැනි මට්ටමේ සංචාරක නිවේදනයට අනුව, මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතී.

චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට සංචාරය කරන සංචාරකයන් සඳහා එන්නත් කිරීම නිර්දේශ කර තිබේ.

විශේෂයෙන් ඔවුන් දරු ප්‍රසූතියට ආසන්න නම්, මෙම ප්‍රදේශවල සංචාරය කිරීම නැවත සළකා බලන ලෙස ගර්භනී කාන්තාවන්ට උපදෙස් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, බොහෝ රෝගීන් වාර්තා වූ බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා අමාත්‍යාංශය සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පැතිරීම මැඩපැවැත්වීම සඳහා අමාත්‍යාංශය විසින් රට පුරා මදුරු මර්දන වැඩසටහන් දියත් කරන බව ද ඔහු පැවසීය.