May 24, 2025

වසර 20 කට පමණ පසු ශ්‍රී ලංකාව චිකුන්ගුන්යා වෛරස් රෝගයේ විශාල පැතිරීමක් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක මහාචාර්ය මලවිගේ පැවසුවේ, ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් විශ්ලේෂණ පද්ධතිය භාවිත කරමින් සම්පූර්ණ ජානමය අනුක්‍රමණයක් සිදුකළ බවයි.

වත්මන් වෛරසය ඉන්දියානු සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමඟ ඇති වන බව සොයාගෙන ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය.

මහාචාර්ය චන්දිම ජිවන්දර ඇතුළු කණ්ඩායමක් සමග සිදුකළ අධ්‍යයනයක පර්යේෂණ පත්‍රිකාවක් ගෙනහැර දක්වමින් මහාචාර්ය මලවිගේ පහත සඳහන් කරුණු සඳහන් කර තිබිණි.

“ශ්‍රී ලංකාව වසර 16කට පසු, 2024 අවසානයේ සිට චිකුන්ගුන්යා විශාල වසංගතයක් අත්විඳිමින් සිටී. අපි දැනට සංසරණය වන චිකුන්ගුන්යා වෛරස් (CHIKV) ප්‍රභේදයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණයක් සිදු කළ අතර එය දකුණු ආසියාවේ දැනට සංසරණය වන චිකුන්ගුන්යා වෛරස්වලට සමාන ඉන්දියානු සාගර පරම්පරාවේ එකක් බව සොයා ගත්තා.” යනුවෙන් එහි සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකික 2025 CHIKV ප්‍රභේදයේ අද්විතීය විකෘති පෙන්නුම් කරන බවත් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනය තුළ තවත් විකෘතිතා අනාවරණ වූ බවත් ඇය සඳහන් කර තිබේ.

මෙම නව විකෘති සමහරක් කලින් සංලක්ෂිත කර නොමැති බැවින්, ඒවා මදුරුවන් තුළ යෝග්‍යතාවට, වෛරස් ප්‍රතිනිර්මාණයට සහ ප්‍රතිශක්තිකරණ මග හැරීමට බලපාන්නේ කෙසේදැයි සොයා බැලීම වැදගත් වන බව ද ඇය සඳහන් කර තිබේ.