November 26, 2026

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණද, ඔහු තවදුරටත් අධිකාරියේ සභාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතුවල නිරත වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට බලපෑ නිශ්චිත හේතු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

2024 වසරේ නව රජය බලයට පත්වීමෙන් අනතුරුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගාමිණී ජයසිංහ මෙම ධුරයට පත් කරනු ලැබීය.

සිය ධුර කාලය තුළ ඔහු කැපී පෙනෙන පියවර කිහිපයක් ගනු ලැබූ අතර, බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනය කිරීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂණ සිදු කිරීම සහ Clean Sri Lanka වැඩසටහන යටතේ මගී ප්‍රවාහන බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළ රැසක් හඳුන්වා දීම ඒ අතර ප්‍රධාන වේ.