October 16, 2026

නවදිල්ලිය, බෙන්ගලූරු සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ දැවැන්ත වෙළඳ සංචාරයකින් අනතුරුව කැනඩාව සහ ඉන්දියාව අතර වෙළඳ සාකච්ඡා සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණ ඇති බව කැනේඩියානු ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මනින්දර් සිධු ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නියෝජිත පිරිසට කැනේඩියානු ව්‍යාපාර සහ අපනයනකරුවන් 300 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් ඇතුළත් වූ අතර, එහිදී ඩොලර් මිලියන 300 කට ආසන්න වටිනාකමකින් යුත් වාණිජ ගිවිසුම් 34 කට එළඹීමට හැකි වී තිබේ.

මෙම ගිවිසුම් ගුවන්යානා තාක්ෂණය, පිරිසිදු බලශක්තිය සහ බලශක්ති පරිවර්තනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, යටිතල පහසුකම්, ජීව විද්‍යාව සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු අංශ රැසක් ඔස්සේ අත්සන් කර ඇත.

වෙළඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා අමාත්‍ය සිධු, ඉන්දීය කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් හමු වී සාකච්ඡා පවත්වා තිබේ. වසර අවසානය වන විට නව ‘සම්පූර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම’ සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් කිරීමට දෙරටම අපේක්ෂා කරයි.

දෙරටේ අමාත්‍යවරුන් පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා අවස්ථා 10 කදී හමුවී සාකච්ඡා පවත්වා ඇත. දකුණු අප්‍රිකාවේ පැවැති G20 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නිල වශයෙන් මෙම වෙළඳ සාකච්ඡා ආරම්භ කරන ලදී.

මේ වසරේ මියාමි හි පැවැත්වීමට නියමිත G20 සමුළුවට පෙර, එනම් දෙසැම්බර් 11 සහ 12 යන දිනවලදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල නිල සංචාරයක නිරත වන බව අගමැති කාර්නි තහවුරු කළේය.

ඇමෙරිකාව හැර අනෙකුත් රටවල් සමඟ සිදුකරන අපනයන ඉදිරි දශකය තුළ දෙගුණයක් කිරීමට කැනේඩියානු ලිබරල් රජය ඉලක්ක කර ඇති අතර, 2030 වන විට ඉන්දියාව සමඟ කෙරෙන ද්විපාර්ශවික වෙළඳාම වසරකට ඩොලර් බිලියන 70 දක්වා දෙගුණ කිරීමට ද සැලසුම් කර ඇත.

2025 වසරේදී කැනඩාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා හුවමාරුවේ මුළු අගය ඩොලර් බිලියන 30.4 ක් ලෙස සටහන් විය.