September 15, 2026

භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් වෙත නොමිලේ ලබාදෙන අඩු ඝනත්ව පොලිඑතිලින් (LDPE) හෝ රේඛීය අඩු ඝනත්ව පොලිඑතිලින් (LLDPE) මගින් නිෂ්පාදිත, සාමාන්‍යයෙන් ‘සිලි සිලි’ බෑග් ලෙස හඳුන්වන බෑග් නොමිලේ ලබාදීම වෙළෙඳුන්ට තහනම් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ 2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 95 අනුව මෙම තීරණය ගෙන ඇති අතර, එය 2025 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන බවයි.

නව නියාමනයන්ට අනුව වෙළෙඳ ප්‍රජාව සහ පාරිභෝගිකයන් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වාදෙයි:

– යම් වෙළෙන්දකු පාරිභෝගිකයකුට මෙවැනි බෑගයක් ලබාදෙන්නේ නම්, ඒ සඳහා නිශ්චිත මිලක් අය කළ යුතු අතර එම මිල වෙළෙඳ ස්ථානයේ පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය. එමෙන්ම අදාළ මුදල පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහි ද පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය වේ.

– බෑග් සඳහා වන මුදල ප්‍රදර්ශනය කර බිල්පතට ඇතුළත් කිරීමට අමතරව, තමන් ලබාගන්නා බෑග්වලට අදාළ මිලදී ගැනීමේ බිල්පත්, ඉන්වොයිසි සහ සැපයුම් තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යෑමට වෙළෙඳුන් කටයුතු කළ යුතුය.

– මෙම විධානය උල්ලංඝනය කරමින් කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

අනවශ්‍ය පොලිඑතිලින් භාවිතය අවම කර පරිසරය සුරැකීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන යෑමට පුරුදු වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.