September 18, 2026

එක්සත් රාජධානියේ ජීවත් වන දෙමළ ජනතාවට මෙරට උතුරු පළාත සමඟ පවතින පවුල් සහ සංස්කෘතික සබඳතා පහසු කිරීම සඳහා ලන්ඩන් සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරත් තොමස් විසින් පෙත්සමකට අත්සන් ලබාගැනීම ආරම්භ කර තිබේ.

‘ලන්ඩන් සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹුමට එක්වන්න’ (Bring Direct Flights to Jaffna) මැයෙන් ආරම්භ කර ඇති මෙම පෙත්සම මගින්, බ්‍රිතාන්‍ය දෙමළ පවුල්වලට මංගල උත්සව, අවමංගල්‍යය, ආගමික උත්සව සහ පවුලේ හමුවීම් සඳහා යාපනයට ගමන් කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් පෙන්වා දී ඇත.

හැරෝ වෙස්ට් ආසනය නියෝජනය කරන තොමස් පවසන්නේ, දැනට ලන්ඩන් සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් නොමැති වීම හේතුවෙන් මගීන්ට කොළඹ හරහා ගමන් කිරීමට සිදුවන බවත්, කොළඹ සිට තවත් කිලෝමීටර් 400 ක පමණ අමතර දුරක් ගමන් කිරීමට සිදුවන බවත්ය.

කොළඹ සිට යාපනය දක්වා ගොඩබිමෙන් හෝ දුම්රියෙන් ගමන් කිරීමට පැය 6 සිට 7 දක්වා කාලයක් ගතවන බවත්, මෙය වයෝවෘද්ධ මගීන්ට, කුඩා දරුවන් සිටින පවුල්වලට මෙන්ම හදිසි අවස්ථාවන් සඳහා පැමිණෙන පිරිස්වලට දැඩි දුෂ්කරතාවයක් බවත් මෙම පෙත්සමෙහි සඳහන් වේ.

මෙම සෘජු ගුවන් සේවාව මගින් ගමන් කාලය අඩුවී, ප්‍රවේශවීමේ පහසුව ලැබෙන අතරම එක්සත් රාජධානිය සහ මෙරට උතුරු පළාත අතර පවුල්, සංස්කෘතික හා සාමාජීය සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය, ආයෝජන සහ ආර්ථික සංවර්ධනය සඳහා ද මෙයින් විශාල රුකුලක් ලැබෙනු ඇති බව පෙත්සම මගින් පෙන්වා දෙයි.

ලන්ඩන් සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර වාණිජමය වශයෙන් සාර්ථක සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලීමට සහ ඊට සහාය වීමට එක්සත් රාජධානියේ රජය, ශ්‍රී ලංකා බලධාරීන්, ගුවන් සේවා සමාගම් සහ ලන්ඩන් ගුවන් තොටුපළ පාලනාධිකාරිය එක්ව කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මෙම යෝජිත ගුවන් සේවාව ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයට සහාය පළ කිරීම සඳහා මහජනතාවට ද මෙම පෙත්සමට අත්සන් තබන ලෙස ඔහු ආරාධනා කර සිටියි.